නිදහස් උත්සවයට වැය කළ මුළු මුදල මෙන්න..

නිදහස් උත්සවයේ වියදම් ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍යයි... වැය කළ මුළු මුදල මෙන්න... ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

by Staff writer 07-02-2023 | 2:31 PM

COLOMBO ( News 1st )  - 75 වන නිදහස් දින සැමරුම් නිල රජ්‍ය උත්සවයේ වියදම සම්බන්ධයෙන්  සමාජ  මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින පුවත් සාවද්‍ය බවත්  එම පුවත් සහ තොරතුරු සම්බන්යෙන් අවධානය යොමුව ඇති බවත් ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ,   මෙවර පැවැත්වූ  75  වන ජාතික  නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා  රජය වැය කළ මුළු මුදල රුපියල් 11,130,011 ශත 29ක් පමණක් බව ත් එය මීට පෙර නිදහස් දින සැමරුම් රාජ්‍ය උත්සව සඳහා වැය කළ මුදලට වඩා ඉතාම අඩු මුදලක් බවයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ,  ආර්ථික අර්බුදය හේතුවෙන් නිදහස් සැමරුම් නිල රාජ්‍ය උත්සවයක් පැවැත්වීම වර්ජනය කිරීමට ජනතාවට බල කළ පටු දේශපාලන ක්‍රියාවලියේ තවත් දිගුවක් ලෙස මෙම සාවද්‍ය තොරතුරු  ප්‍රචාරය පෙන්නුම් කරන බව සහ එහි අපේක්ෂාව දුස් තොරතුරු හරහා ජනතාව නොමග යවා රජය ජනතාවගේ වෛරයට ලක්කිරීම සහ ආණ්ඩුව අපහසුතාවට පත්කර තම දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීම විය යුතු බවයි. 

ඒ වෙනුවෙන්  නිදහස් දින සැමරුම් උත්සවයේ ජංගම වැසිකිළි පහසුකම් සැපයීම පවා වරදක් ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ දරා ඇති බව අදාළ නිවේදනයේ සඳහන් ය.  
 
දහස් සංඛ්‍යාත පිරිසක් රැස්වන උත්සවයක  සෞඛ්‍යාරක්ෂිත බව නිසි ලෙස තහවුරු කිරීමේ  පියවරක් ලෙස ප්‍රමාණවත් පරිදි ජංගම වැසිකිළි පහසුකම් සැපයීම වෙනුවෙන් වැය බරක් දැරීම කිසිසේත්ම අනවශ්‍ය වියදමක් ලෙස දැක්විය නොහැකි බවත්  අතිවිශාල පිරිසක් රැස්වන නිල රාජ්‍ය උත්සවයක එවැනි අංශයක් සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම රටම අපකීර්තියට පත්වන්නක් බව ද   අදාළ නිවේදනයේ දැක්වේ. 

 නිදහස් උත්සවය සඳහා රජය විසින් අධ්‍යාපනය වෙනුවෙන්  වෙන් කළ මුදලින් රුපියල් මිලියන 5.8ක් වැය කර ඇති බවට පළවන පුවත් ද  මුළුමනින්ම සාවද්‍ය බව පවසන ජනාධිපති කාර්යාලය සඳහන් කරන්නේ. මෙම උත්සවය සඳහා වන මූලික වියදමක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඇස්තමේන්තු ගතකර තිබුණ ද එම කිසිදු මුදලක් වැය කර  නොමැති බවයි.  

තව ද ජනාධිපති කාර්යාලය අවධාරණය කරන්නේ, මෙවර පැවති  ජාතික  නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා වැය කරනු ලැබුවේ ඇස්තමේන්තුගත මුදලට වඩා ඉතාම අඩු මුදලක් බවයි.  
 
රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඉන් ගොඩ එමින් පවතින මොහොතක මෙවන් රාජ්‍ය උත්සවයක් පැවැත්වීම යනු පැහැදිලිව යළි නැඟී සිටීමට රට සූදානම් කිරීමක් බව පවසන ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ,   අනෙක් අතට යළි නැගී සිටීම සඳහා  අවශ්‍ය ධෛර්ය බිඳුවකින් අඩුවක් නොමැතිව ශ්‍රී ලංකා රාජ්‍යයට තිබෙන  බවත්,  අර්බුදය විසින් බිඳ දැමුණු ශ්‍රී ලංකා අභිමානය යළි අත්පත් කරගන්නට ඇති සූදානම පිළිබඳ පණිවිඩය ලෝකය හමුවේ තැබීමක් ද වන බවයි. 

තව ද අදාළ නිවේදනයේ සඳහන් වන්නේ, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතික නිදහස් සැමරුම වැනි අභිමානවත්  රාජ්‍ය උත්සවයක් සම්බන්ධයෙන් ගෙන  යනු ලබන  සාවද්‍ය  ප්‍රචාර ජනාධිපති කාර්යාලය ඉතා කනගාටුවෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බවයි.