2015 වසරෙන් පසුව පසුගිය සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ උද්ධමනය සෘණ අගයක් වාර්තා කළ බව මහ බැංකුව පවසයි.
භාණ්ඩ හා සේවාවල මිල ගණන් දිගු කාලයක් තිස්සේ පහත වැටීම උද්ධමනය සෘණ අගයක් ගැනීමට හේතුව වේ.
භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩිවන අවස්ථාවේදී උද්ධමනය ධන අගයක් ගනු ලබයි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ ආසන්නතම දත්ත වාර්තා අනුව , මෙරට ආර්ථිකය තුළ උද්ධමනය සෘණ අගයක ප්‍රවණතාවක් ගෙන තිබේ.
සැප්තැම්බර් මාසයේ උද්ධමනය සෘණ 0.5 ක් ලෙස වාර්තා වේ.
අගොස්තු මාසයට සාපෙක්ෂව සැප්තැම්බර් මාසයේ උද්ධමනයේ පහළ යාම 0.3% කි.
මේ අතර මෙරට දළ නිල සංචිත 2024 අගෝස්තු මාසය අවසන් වන විට අමෙරිකානු ඩොලර් බිලියන 6 ක් දක්වා වර්ධනය වී තිබේ.
එය 2023 දෙසැම්බර් අවසන් වන විට අමෙරිකානු ඩොලර් බිලියන 4.4 ක අගයක් ගෙන තිබුණි.
මහජන චීන බැංකුව හරහා ලබාගත් මුදල් හුවමාරු පහසුකම ද ඊට ඇතුළත් බව මහ බැංකුව සඳහන් කළේ ය.
2023 වසරේ අගෝස්තු මාසයේ දී වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 499 ට සාපේක්ෂව 2024 අගෝස්තු මාසයේදී ශ්‍රී ලාංකික විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් ලැබුණු මුදල් ප්‍රමාණය ද ඇමරිකානු ඩොලර් මිලියන 577 ක් දක්වා වැඩිවී ඇත.
2024 මාර්තු මාසයේ සිට මාස හයක කාලයක් මාසික ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ අඛණ්ඩව අමෙරිකානු ඩොලර් මිලියන 500 කට වඩා වාර්තාවුණි.
පසුගිය මස මැද භාගයේ දී අවප්‍රමාණය වී යම් අස්ථාවරත්වයක් පෙන්නුම් කළ විනිමය අනුපාතික 2024 සැප්තැම්බර් මස අග භාගයේදී ඉහළ යාමක් පෙන්නුම් කළ බව මහ බැංකුව සඳහන් කළේ ය.
2024 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් ඇත.
2024 සැප්තැම්බර් 30 දක්වා වූ වසර තුළ දී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 8.2% කින් වර්ධනය වී තිබේ.
මේ අතර ජනාධිපතිවරයා විසින් ආර්ථික කටයුතු හා මුදල් පිළිබඳව ජ්‍යේෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙකු පත්කර තිබේ.
ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව අමාත්‍ය මණ්ඩලය විමසා මේ පත්කිරීම් සිදුකර ඇති බව කැබිනට් තීරණවල සඳහන් විය.
මෙලෙස ජ්‍යේෂ්ඨ උපදේශකවරුන් ලෙස දුමින්ද හුලංගමුව හා මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් පත්කර තිබේ.
කැබිනට් තීරණවල සඳහන් වූයේ ගරු සේවා පදනම මත ඔවුන් මෙම තනතුරුවලට පත්කර ඇති බවය.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපීය අධ්යක්ෂ ක්රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා ඇතුළු නියෝජිත පිරිසක් හෙට (02) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
මේ පිළිබඳ අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා..
--- IMF ගිවිසුම සම්බන්ධයෙන් යම් සමාලෝචනයක් කරන්න ඕනේ කියන අදහසේ ඉන්නවා. නමුත් දැන් හෙට පැමිණෙන IMF නියෝජිතයොත් එක්ක එවැනි ගැඹුරු සාකච්ඡාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම නව ජනාධිපතිවරයා පත් වුණාට පස්සේ, ජනාධිපතිවරයත් එක්ක මේ IMF කටයුතු කොහොමද ඉදිරියට ගෙනියන්නේ? ඒ පිළිබඳව මූලික සාකච්ඡාවක් පමණයි සිද්ධ වෙන්නේ. එහි ව්‍යූහාත්මක කරුණු පිළිබඳ සාකච්ඡාවකට මහ බැංකුවේ අධිපතිවරයත්, මුදල් අමාත්‍යාශයේ ලේකම්වරයත් ඒ වගේම ජනාධිපතිවරයගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික කටයුතු පිලිබඳ උපදේශකවරුත් සම්බන්ධ වෙන සාකච්ඡාවක්, මේ මාසේ අග නිව්යෝර්ක් වල දී පැවැත්වෙනවා. එහිදී තමයි මේ IMF ගිවිසුම පිළිබඳව හරයාත්මකව, ව්‍යූහාත්මක දේවල් පිළිබඳව සාකච්ඡා වෙන්නේ..ISB ණයකරුවන් සමඟ ප්‍රතිව්‍යූගතකරණය පිළිබඳ අවසන් එකඟතාවයකට ගියා කියලා කිව්වා. හැබැයි එහෙම ගිහිල්ලා තිබුන් නෑ. අවසන් අදියරට ඇවිල්ලා තිබුණා.නමුත් අවසන් එකඟතාවයකට ඇවිල්ලා තිබුණේ නැහැ.එතකොට ඒ අවසන් එකඟතාවයට ඒම පිළිබඳවත් IMF මූලස්ථානයේ පැවැත්වෙන මේ මාසේ අග පැවැත්වෙන සාකච්ඡා වලදී තමයි අවසන් තීරණයක් ගන්නේ.--