ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද දෙවන දිනටත්

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද දෙවන දිනටත්

by Staff writer 05-09-2024 | 6:03 AM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (05) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.

ඊයේ පෙරවරු 8.30ට ආරම්භ වුණු පළමු දින තැපැල් ඡන්ද විමසීම, පස්වරු 4.30 දක්වා පැවැත්වුණු  අතර පොලීසිය සඳහන් කළේ, කිසිදු බාධාවකින් තොරව එම කටයුතු සිදු කෙරුණු බවයි.

තැපැල් ඡන්ද විමසීම හෙට (06) දිනයෙත් සිදුවන අතර ඒ සඳහා ස්ථාපිත මධ්‍යස්ථාන සංඛ්‍යාව 1500 අධිකයි.

අද සහ හෙට ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල කාර්යය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ලබන 11 සහ 12  ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබා දී ඇත.

මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 712,319 කි.

මේ අතර පැෆ්රල් සංවිධානයේ  විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටආරච්චි මහතා සඳහන් කළේ, අද දිනයේත් නිරීක්ෂකයින් 900 දෙනෙකු යොදාගෙන නිරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරන බවයි.