නවදිල්ලි ඛේදවාචකයට UN මහ ලේකම් ශෝකය පළ කරයි

ඉන්දියාවේ දිල්ලි නුවර සිදුවූ පිපිරීම සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්, ඇන්ටෝනියෝ ගුටරෙස් සිය ශෝකය පළ කරයි!

by Staff writer 12-11-2025 | 8:29 AM

COLOMBO (News 1st) - ඉන්දියාවේ දිල්ලි නුවර සිදුවූ පිපිරීම සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්, ඇන්ටෝනියෝ ගුටරෙස් සිය ශෝකය පළ කර තිබේ.

පිපිරීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකළ යුතු බව මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.

මේ අතර දිල්ලි පිපිරීමෙන් දිවි අහිමි වූ පුද්ගලයින්ගේ ඥාතීන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ලබාදෙන බව දිල්ලි ප්‍රධාන අමාත්‍ය රේඛා ගුප්තා සදහන් කරන ලදි.

රතු බලකොටුව ආසන්නයේ දුම්රිය ස්ථානයක් ඉදිරිපිට පෙරේදා මෝටර් රථයක සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තවත් 20කට වැඩි පිරිසක් තුවාල ලැබුවේ ය.

අද දිනයේදීත්, රතු බලකොටුව සහ "ලාල් කිලා" දුම්රිය ස්ථානය වසා තැබෙන බවද විදෙස් වාර්තා වල සඳහන් වේ.

පසුගියදා ජම්මු කාශ්මීරයෙදී අත්අඩංගුවට ගැනුණු වෛද්‍යවරුන් දෙදෙනා සහ මරාගෙන මැරෙන පිපිරීම සිදුකල වෛද්‍යවරයා අතර සබඳතා පිළිබඳව මේ වන විට විමර්ශනය කෙරන බව ඉන්දීය වාර්තා වල සදහන් ය.

ඊයේ දිනයේදීද, තවත් වෛද්‍යවරුන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

ඔවුන් සියලු දෙනාම, ආගමික අන්තවාදී ත්‍රස්ත සංවිධානයකට සහයෝගය දක්වන බවට තොරතුරු අනාවරණය වෙමින් ඇති බවත් ඉන්දියාවේ NDTV පුවත් සේවය පවසයි.