ඉරාන ජනපති දිවයිනෙන් පිටව යයි..

සිය නිල සංචාරය නිම කරමින් ඉරාන ජනපති දිවයිනෙන් පිටව යයි

by Staff writer 25-04-2024 | 7:49 AM

COLOMBO (News 1st) - ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි මහතා සිය නිල සංචාරය නිම කරමින් ඊයේ(25) රාත්‍රියේ දිවයිනෙන් පිටව ගියේ ය.

ඒ, ඔහු පැමිණි විශේෂ ගුවන් යානයෙන් ය.

ශ්‍රි ලංකාව සහ ඉරානය අතර ඊයේ රාත්‍රියේ නව ගිවිසුම් 05කට ද අත්සන් තැබුණි. 

මෙරටට පැමිණ සිටි ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මෙම ගිවිසුම් අත්සන් තැබුවේ ජනාධිපති කාර්යාලයේදී ය.

මෙහිදී ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය , ඉරාන ජාතික පුස්තකාලය සහ ලේඛනාගාරය අතර සහයෝගිතා ගිවිසුමට අත්සන් තබා තිබේ. 

මේ අතර, ජාතික චිත්‍රපට සංස්ථාව සහ ඉරානයේ සංස්කෘතික හා ඉස්ලාමීය මාර්ගෝපදේශන අමාත්‍යාංශය අතර චිත්‍රපට කර්මාන්තයේ සහයෝගිතාව පිළිබඳවද අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබුවේ ය.

මාධ්‍ය සංචාරක ක්ෂේත්‍ර සඳහා ද දෙරට අතර ගිවිසුම් අත්සන් කෙරිණ. 

දෙරට අතර සමුපකාර සේවා සම්බන්ධයෙන් ද මෙහිදී ගිවිසුම් අත්සන් කළ බව සඳහන් ය.

ගිවිසුම් සදහා අත්සන් කිරීමෙන් අනතුරුව ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්විණ. 

එහිදී ඉරාන ජනාධිපතිවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාව හා ඉරානය අතර දේශපාලන , ආර්ථික , වෙළද සහ සංස්කෘතික සබඳතා පුළුල් කිරිම සම්බන්ධයෙන් කිසිදු සීමාවක් නොමැති බවයි.
 
ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි මහතා ඊයේ පෙරවරුවේ මෙරටට පැමිණියේ, උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගි වීම සඳහා ය.