මැති ඇමතිවරුන්ගෙන් කථානායකට ලිපියක්

තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර දෙන්නැයි ඉල්ලමින් මැති ඇමතිවරුන්ගෙන් කථානායකට ලිපියක්

by Staff writer 30-04-2024 | 5:47 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ඇමතිවරු බොහෝ පිරිසක් තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් කරන ලද ලිපියක් තමන් වෙත ලැබී ඇති බවයි.

ඔවුන්ගේ ඉල්ලීම තමා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බව කථානායකවරයා සඳහන් කළේ ය.

කථානායකවරයා සඳහන් කළේ, වසර 10කින් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමට අවසර ලබාදී නොමැති බවයි.

වසර 12කට වඩා පැරණි වාහන බොහෝ පිරිසක් භාවිත කරන බව ද කථානායකවරයා සඳහන් කළේ ය.

මේ අතර මේ වසරේ අග හෝ ලබන වසරේ මුල සිට වාහන ආනයනය කිරීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සීමාවන්ට යටත්ව වාහන ආනයනයට අවසර දීමට දැනට සැලසුම් කර ඇති බවයි.

ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටු නිර්දේශ ද එහිදී සැළකිල්ලට ගන්නා බව ඔහු සඳහන් කළේ ය.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කළේ, වාහන ආනයනය සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ආරම්භ වී ඇති බවයි.