ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අපරාජිතව ඉදිරියට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබයි..

by Staff writer 06-05-2024 | 6:59 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබුවේ ය.

ඒ, 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී එක්සත් අරාබි එමිර් කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කරමින් ය.

මෙම තරගය අබුඩාබිහිදී පැවැත්වුණ.

එහි කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමිර් ක්‍රීඩිකාවන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව නායක චමරි අතපත්තු සමගින් විශ්මි ගුණරත්න ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ය. 

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 52කි.

නායක චමරි අතපත්තු ලකුණු 21කි. 

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 24ක් රැස් කළේ ය. 

ආරම්භක පිතිකරු විශ්මි ගුණරත්න ලකුණු 45ක් රැස් කළේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 149ක් රැස් කළේ ය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එක්සත් අරාබි එමිර් කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණකදී බිඳ වැටුණි.

නායක ඊශා ඕසා සහ කුෂී ශර්මා දෙවැනි කඩුල්ලට ලකුණු 66ක සබඳතාවයක් එක් කළද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් වුණේ නැහැ.

කුෂී ශර්මා ලකුණු 22කි.

නායක ඊශා ඕසා පන්දු 44කින් ලකුණු 66ක් රැස් කළේ ය. 

පන්දු යැවීමේදී චමරි අතපත්තු කඩුලු 2ක් බිඳ හෙලුවේ ය.

ඒ අනුව ලකුණු 150ක ඉලක්කයක් හඹා ගිය එක්සත් අරාබි එමිර් ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 134ක් පමණි.