විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩවර්ජනය අදත්..

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩවර්ජනය අදත්..

by Staff writer 07-05-2024 | 5:46 AM

COLOMBO (News 1st) - වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද (07) දිනයේත් ක්‍රියාත්මකයි.

වැඩවර්ජනය ආරම්භ කර අදට දින 06 කි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක සහ උසස් අධ්‍යාපන ආයතන 17ක කටයුතුවලට අනධ්‍යයන සේවක වර්ජනයෙන් බාධා එල්ල වී ඇත.

ඒ හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අභ්‍යන්තර හා බාහිරව අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මුහුණදී ඇත්තේ දැඩි අර්බුදකයකටයි.

වර්ජනය හේතුවෙන් අධ්‍යයන කටයුතු මෙන්ම විභාග කටයුතු ද කල් දැමීමට සිදුව තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ, අදාළ ගැටලුවට විසඳුම් යෝජනා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනුකමිටුවක් පත් කර ඇති බවයි. 

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සමස්ත ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය ද අද දිනයෙත් ක්‍රියාත්මක වේ.

එහි සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ, අද දිනයේ සියලුම ග්‍රාම නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කර සේවා කටයුතුවලින් ඉවත්වන බවයි.

සේවා ව්‍යවස්ථාව ග්‍රාම නිලධාරීන්ට ලබානොදීමට කටයුතු කිරීම සහ වැටප් ගැටලු පදනම් කර ගනිමින් ඔවුන් ඊයේ දිනයේත් සියලු රාජකාරිවලින් ඉවත්ව ලෙඩ නිවාඩු දමා රාජකාරිවලින් බැහැර විය.