සා/පෙළ ප්‍රතිඵල සැප්තැම්බර් අග...

සා/පෙළ ප්‍රතිඵල සැප්තැම්බර් අග... - විභාග කොමසාරිස් ජනරාල්

by Staff writer 07-05-2024 | 6:27 AM

COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

ඔහු පෙන්වා දුන්නේ, සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය අදියර 2ක් යටතේ සිදු කරන බවයි.

ඒ සඳහා අවශ්‍ය වන පරීක්ෂකවරු ගණන 35,000කි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී ඊයේ (06) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ විය.

මෙවර විභාගය සඳහා පෙනී සිටින අයැදුම්කරුවන් සංඛ්‍යාව 452,979 කි.

ඊට පාසල් අයැදුම්කරුවන් 387, 648ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත් වේ.

යම් හෙයකින් විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ හදිසි ආපදා තත්ත්වයන් ඇති වුවහොත් ඊට ද සියලුම අංශ සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

මේ අතර සමාන්‍ය පෙළ විභාගය අවසන් වී සති දෙකක් ඇතුළත එම දරුවන්ට උසස් පෙළ පන්ති ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.