ඒ. ඩී. රංජිත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ. ඩී. රංජිත් කුමාරගේ දේහය හෙට මහජන ගෞරවයට

by Staff writer 10-05-2024 | 7:40 PM

COLOMBO (News 1st) - ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ. ඩී. රංජිත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (10) දහවල් ඔහු අභාවප්‍රාප්ත වුණේ, කලක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පත හරහා සිය වෘත්තීය පුවත්පත් දිවිය ආරම්භ කරන ඔහු විශේෂාංග ලේඛකයෙකු ලෙස ජනතාව අතර ප්‍රචලිත විය.

සරසවිය පුවත්පතේ ප්‍රධාන කතුවරයා ලෙස වැඩිම කාලයක් කටයුතු කළ පුද්ගලයා වන ඒ. ඩී. රංජිත් කුමාර මහතා සරසවිය සම්මාන උළෙල 17ක් සංවිධානය කර තිබේ.

සිනමා විචාරකයෙකු මෙන්ම ලේඛකයෙකු ලෙස ද ජනාදරයට පත් ඔහු හෙළ සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සිය පන්හිඳ මෙහෙය වූ ලේඛකයෙකි.

කොස්ගස් හන්දිය නමින් සිය චරිතාපදානය ජනගත කර ඇති ඔහු, අවසන් වරට ජනගත කළ කෘතිය වන්නේ කොස්ගස් හන්දියේ කොලු ගැටයායි. 

අභාවප්‍රාප්ත ඒ. ඩී. රංජිත් කුමාර මහතාගේ දේහය, හෙට පෙරවරු 8 සිට පෙරවරු 10 දක්වා මහජන ගෞරවය සඳහා ගල්කිස්ස පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.

අනතුරුව දේහය, වෛද්‍ය විද්‍යාලයක් වෙත භාර කෙරෙන්නේ ඒ මහතාගේ අවසන් කැමැත්තට අනුවයි.