ඒ, ආගමන විගමන පාලක ජනරාල්වරයාට සැප්තැම්බර් 25 වැනිදා පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කිරීමේ නියෝගයක් ද ලබා දෙමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ එම්.ඒ. සුමන්දිරන් යන මහත්වරුන් ඇතුළත් පාර්ශ්ව කිහිපයක් ගොනු කර තිබූ පෙත්සම් කිහිපයක් අද නැවත සලකා බැලූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේ ය.
පැවැති විද්‍යුත් වීසා ක්‍රමය බල රහිත කරමින්, පැරණි වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය යටතේ වීසා නිකුත් කරන්නැයි ආගමන විගමන පාලක ජනරාල්වරයාට අධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
එම නියෝගය නිකුත් කර මාසයකට අධික කාලයක් ගතවී තිබුණ ද, මේ දක්වා අධිකරණ නියෝග අනුව කටයුතු කිරීම ආගමන විගමන පාලක ජනරාල්වරයා චේතාන්විතව හිතාමතා පැහැර හැර ඇති බැවින් ඔහුට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස මෝසම් පත්‍ර ගොනු කරමින් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ, අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අද පෙත්සම් කැඳවනු ලැබුවේ ය.
එහිදී පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටි පෙත්සම්කාර එම්.ඒ.සුමන්දිරන් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු මඬුල්ල වහාම අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටින්නැයි ආගමන විගමන පාලක ජනරාල්වරයාට නියෝග කළේ ය.
එහි දී ආගමන විගමන පාලක ජනරාල්වරයා විදේශගතව ඇති බව නීතිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය කරුණු දක්වමින් කියා සිටියේය.
අනතුරුව එම නියෝගය අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව හා මොබිටෙල් ආයතනයේ නිලධාරියක් ඇතුළු තුන්දෙනෙකු සාක්ෂි ලබා දීමට අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව කටයුතු කරන ලෙස පළමු වගඋත්තරකාර ආගමන විගමන පාලක ජනරාල්වරයා තමන්ට උපදෙස් දීමක් කර නොමැති බව එහිදී සාක්ෂි දෙමින් ඔවුන් පැවසුවේ ය.
එහිදී පළමු වග උත්තරකාර ආගමන විගමන පාලක ජනරාල්වරයා තම අධිකරණය ලබාදුන් නියෝග අනුව කටයුතු කිරීම හිතාමතා නොසලකා හැර ඇති බව බැලූ බැල්මට පෙනී යන බව නිගමනය කළ විනිසුරු මඬුල්ල, අධිකරණයට අපහාස කිරීම යටතේ ආගමන විගමන පාලකවරයාට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන්නැයි පෙත්සම්කාර පාර්ශවයට නියෝග කොරන ලදි.
ඊට අමතරව සැප්තැම්බර් 25 වැනිදා පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා ආගමන විගමන පාලකරයාට නොතීසි නිකුත් කරන ලෙස ද, විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර්වරයාට නියෝග කළහ.