බදු අහිමි කරමින් වාහන ගෙන්වූ අය අල්ලන්න නියෝගයක්

බදු අහිමි කරමින් මෝටර් රථ ආනයනය කළ සැකකරුවන් අල්ලන්නැයි නියෝගයක්...

by Staff writer 02-10-2024 | 3:59 PM

COLOMBO (News1st) - රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් ආනයනය කළ සුඛෝපභෝගි මෝටර් රථ ආනයනය කළ හා එම  අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුවන් ද වහා අත්අඩංගුවට ගන්නැයි, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ රහසිගත බුද්ධි විමර්ශන ඒකකය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය කළේ ය.

රජයට පාඩු කරමින් හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී වාහන දෙසීයක් අතරින් මේ වන විට රජයට භාරදී ඇත්තේ වාහන විස්සක් පමණක් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.

මේ අතර රහසිගත බුද්ධි ඒකකය අත්අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි හයකට අධික වටිනාකමින් යුත් ජීප් රථයක් ද අධිකරණයට ඉදිරිපත් කළේ ය.

අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේ අදාල ජීප් රථය වහා රජයට බාර දෙන්නැයි, අධිකරණය  නියෝග කළ ද , රථ හිමියා විසින් අදාළ රථය සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බවයි.

2015 වර්ෂයෙන් පසුව සුඛෝපභෝගී ජීප් රථ හා වාහන ශ්‍රී ලංකා රේගුවට හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් 2005 ට පෙර ආනයනය කළ සාමාන්‍ය රථ වාහන ලෙස ලියාපදිංචි කර ඇති සුඛෝපභෝගී වාහන දෙසීයක් අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම මේ වන විට විමර්ශන සිදු කරයි.