ඛනිජ තෙල් වෘත්තීය සමිති මහින්ද හමුවට..

අනිවාර්ය නිවාඩු යැවූ ඛනිජ තෙල් වෘත්තීය සමිති හිටපු ජනපති මහින්ද හමුවට

by Staff writer 01-04-2023 | 11:09 AM

COLOMBO (News 1st) – අනිවාර්ය නිවාඩු යැවූ  ඛනිජ තෙල් වෘත්තීය සමිති සේවකයින් ඇතුළු පිරිසක් අද (01) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබේ.

එම හමුව පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ, විජේරාමයේ පිහිටි නිල නිවසේදීය. 

ඛනිජ තෙල් නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ශ්‍රී ලංකා පොදු ජන ප්‍රගතිශිලි සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ වෘත්තීය සමිති නායකයින් ඇතුළු පසුගියදා අනිවාර්ය නිවාඩු යැවූ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් 20 දෙනා මෙම සාකච්ජාවට සම්බන්ධ වන බවය.

ඉදිරි දින කිහිපයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද හමුවී  ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති ප්‍රකාශ කළේ ය.

ඛනිජ තෙල් වෘත්තීය සමිති සඳහන් කළේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ද මේ සම්බ්න්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවය. 

මේ අතර වැඩවර්ජනය කිරීමේ චෝදනා මත අනිවාර්ය නිවාඩු යැවූ සංස්ථා සේවකයින් 20 දෙනා සම්බන්ධ විනය පරීක්ෂණ ලබන සඳුදා ආරම්භ කරන බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි. 

ඉන්ධන බෙදාහැරිමේ ක්‍රියාවලයට බාධා වන ලෙස වැඩ වර්ජනය කිරිමේ චෝදනා මත මෙම වෘත්තීය සමිති නියෝජිතයින් අනිවාර්ය නිවාඩු යැවීමට ඛනිජ තෙල් සංස්ථා පාලනාධිකාරිය පසුගියදා පියවර ගත්තේ ය.