2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය

2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන අවුරුදු 60 සුරූපිනිය

by Hashini De Mel 28-04-2024 | 2:03 PM

COLOMBO (News 1st) - ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් ප්‍රදේශයේ රූ රැජිණ කිරුළ දිනා ගැනීමට 60 හැවිරිදි වියේ පසුවන ඇලෙජන්ඩ්‍රා රොඩ්‍රිගස් (Alejandra Rodríguez) සමත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇය එලෙස කිරුළ දිනාගෙන ඇත්තේ, ඇගේ වයසටත් වඩා හරි අඩක් පමණ වූ තරගකරුවන් 34 දෙනෙක් පරාජය කරමිනි.

ඒ අනුව, ඇලෙජන්ඩ්‍රා ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත ආර්ජන්ටිනාවේ විශ්ව රූ රැජින සඳහා පැවැත්වෙන ප්‍රධාන තරගය සඳහා බුවනෝස් අයර්ස් ප්‍රදේශය නියෝනය කිරීමට නියමිතයි.

එම තරගයෙන් ඇය ජයග්‍රහණය කළහොත් ලබන සැප්තැම්බර් 28වැනිදා මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිත විශ්ව රූ රැජිණ කිරුළ සඳහා ආර්ජන්ටිනාව නියෝජනය කරමින් තරග වැදීමට ඇයට අවස්ථාව හිමි වේ. 

මේ වන තෙක්ම වැඩිහිටි කාන්තාවකට  රූ රැජිණ කිරුළ කිරුළකට තරඟ කිරීමට නොහැකි වී ඇති අතර මෙය එසේ වූ පළමු අවස්ථාවයි.

විශ්ව රූ රැජිණ තරඟයට, තරඟ කිරීමට අවසර දී ඇත්තේ වයස අවුරුදු 18ත් - 28ත් අතර වයසේ පසුවන කාන්තාවන්ට පමණි.

නමුත් මෙවර එම වයස් සීමාව ඉවත් කර ඇති අතර විශ්ව රූ රැජින සංවිධානය නිවේදනය කර තිබෙන්නේ මේ වසරේ සිට වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම කාන්තාවක් තරඟ කිරීමට සුදුසුකම් ලබන බවයි. 

ඒ අනුව, 60 හැවිරිදි වියේ පසුවූ ඇලෙජන්ඩ්‍රා රොඩ්‍රිගස්ට තරගය සඳහා අයැදුම් කිරීමට අවස්ථාව හිමිවිය. 

ඇලෙජන්ඩ්‍රා රොඩ්‍රිගස් වෘත්තියෙන් නීතිඥවරියක් සහ මාධ්‍යවේදිනියක් ද වේ.

ඇය දැනටමත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කළත් ඇය මෙම තරගයට සහභාගි වීමට පෙර හොඳ ආහාර රටාවක් සහ ව්‍යායාම්වල ද නිරත වී තිබේ.

ඇලෙජන්ඩ්‍රා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ තමන්ගේ පරම්පරාවේ කාන්තාවන් නියෝජනය කිරීමට ආසාවෙන් සිටි බවත්, 2024 විශ්ව රූ රැජින කිරුළ සඳහා හොඳින් තරග කිරීම තම අධිෂ්ඨානය බවත්ය. 

සුන්දරත්වයට කල් ඉකුත්වන දිනයක් නොමැත, ලස්සන වීමට නම් ඔබ, ඔබ ගැන විශ්වාසය තබා අව්‍යාජ විය යුතු බව ඇය වැඩිදුරත් පවසා තිබෙනවා. 

මේ අතර ලෝක රූ රැජිණ තරගය නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙන් ඩොමිනිකන් ජනරජයෙන් ද 47 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් සූදානමින් සිටි.

හයිඩි කෲස් නම් ඇය යෝග්‍යතා විශේෂඥ සහ සෞඛ්‍ය පුහුණුකාරිනියකි. 

ඇය මේ වනවිට ඩොමිනිකන් ජනරජයේ රූ රැජින බවට පත්වීම සඳහා තරග කරමින් සිටි.

කෙසේ වෙතත් රූපලාවන්‍යට වයස් සීමාවක් නොමැති බව ඇලෙජන්ඩ්‍රා රොඩ්‍රිගස්  සහ හයිඩි කෲස්  මේ වනවිට ඔප්පු කර අවසන්ය.