20යි 20 ක්‍රිකට් තරගයක ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව

20යි 20 ක්‍රිකට් තරගයක ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව

by Staff writer 27-04-2024 | 5:26 PM

COLOMBO (News 1st) - පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහලම ලකුණූ හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා.

ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිඩ් රයිඩර් කණ්ඩායමට එරෙහි තරගයේදී ලකුණු 262ක ඉලක්කයක් හඹා යමින්.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ලකුණු 259ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවයි.

මේ අතර අයි පී එල් ඉතිහාසයේ ද හොඳම හඹායාම ලෙස මෙය ඉතිහාසගත වෙනවා.

මීට පෙර එම අයි පී එල් වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ,  ලකුණු 224ක ඉලක්කයක් හඹාගොස් ජය ගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි. 

ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20යි 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණූ 261ක් රැස් කළා.

පිලිප් සෝල්ට් ලකුණු 75ක් සහ සුනිල් නරේන් ලකුණු 71ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඉනිම නිමාවීමට පන්දු 8ක් ඉතිරිව තිබියදීම එම ඉලක්කය පසු කළා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජොනී බෙයාර්ස්ටෝ නොදැවී ලකුණු 108ක් ලබා ගත්තා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ශෂාන්ක් සිං නොදැවී වේගවත් ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වෙනවා.