ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව විශිෂ්ට රග්බි ජයක්..

2024 ආසියානු රග්බි ශූරතාවලියේ පළමු කොටසේ ඉන්දියාව සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක්..

by Staff writer 01-05-2024 | 6:27 AM

COLOMBO (News 1st) - 2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලියේ ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරගය සත්කාරක ශ්‍රී ලංකාව විශිෂ්ට ලෙස ජය ගෙන තිබේ.

2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලිය කොළඹ තුරග තරග පිටියේදී ඊයේ ආරම්භ විය.

වසර 11කට පසුව ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන පළමු ජාත්‍යන්තර රග්බි තරගාවලිය මෙයයි.

එහි දෙවැනි තරගයේදී සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හමු විය.

මෙම තරගය ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකාවයි.

ඔවුන් පළමු අර්ධය අවසානයේදී ලකුණු 21ට 3ක් ලෙස ඉදිරියෙන් සිටියේ ය.

දෙවැනි අර්ධයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ඉන්දීය ක්‍රීඩකයින්ට සාර්ථක ලෙස ලකුණු අතරට පිවිසීමට අවස්ථාව හිමි වුණේ නැත.

ශ්‍රී ලංකාවම එම අර්ධයේදී ලකුණු 24ක් රැස් කළේ ය.

ඉන්දීය කණ්ඩායමට රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 7ක් පමණි.

ඒ අනුව ලකුණු 45ට 10ක් ලෙස ඉන්දීය කණ්ඩායම පහසුවෙන් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය.

ශ්‍රී ලංකාව උත්සාහක දිනුම් 7ක් ලබා ගත් අතර ප්‍රවර්ථන 5ක් ද සාර්ථක කරගැනීමට සමත් විය.

ඉන්දියාව ලකුණු රැස් කළේ, උත්සාහක දිනුමකින්, ප්‍රවර්ථනයකින් සහ දඬුවම් පහරකිනි.