ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් වර්ජනය දැඩි කරනවා

ඉල්ලීම්වලට අද විසඳුම් නොලැබුණහොත් වර්ජනය දැඩි කරනවා.. - සරසවි අනධ්‍යයන වෘත්තීය සමිතිවලින් රතු එළියක්

by Staff writer 08-05-2024 | 6:03 AM

COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට පත් කළ කැබිනට් අනුකමිටුව අද (08) රැස්වේ.

එහිදී ගන්නා නිර්දේශ ලබන 13 වැනි දා රැස්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.

මේ අතර වැටුප් කප්පාදුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද 7 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

මේ හේතුවෙන් සියලු විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන 17ක කටයුතු අඩාල වී තිබේ.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ, අද දිනයේ තම ඉල්ලීම් සම්බන්ධයෙන් නිසි විසඳුමක් නොලැබුණහොත් වැඩවර්ජනය තවත් දැඩි කරන බවයි.