විශ්වවිද්‍යාල වෘත්තීය සමිති නායකයින් අද රැස්වෙයි.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති නායකයින් අද රැස්වෙයි...

by Haindu Gihan 09-05-2024 | 8:27 AM

COLOMBO (News 1st) - අද (09) දින විශ්වවිද්‍යාල වෘත්තීය සමිති නායකයින් රැස්වීමට නියමිත වේ.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ, එහිදී මින් ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව තීරණය කරන බවයි.

වැටුප් කප්පාදුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මක වේ.

වැඩ වර්ජනය ආරම්භ කර අදට දින 08 ක්.

තම ගැටලු සඳහා විසඳුම් නොලැබෙන්නේ නම් වැඩවර්ජනය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දීමට පත් කළ කැබිනට් අනු කමිටුව ඊයේ (08) රැස්විය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් අවශ්‍ය කරුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් එහිදී ඉදිරිපත් කළ බවයි.

එම කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර මහා භාණ්ඩාගාරයේ අදහස් විමසන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බවත් සභාපතිවරයා සඳහන් කළේ ය.