නිල්වලා හා කුඩා ගගේ ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළට

නිල්වලා හා කුඩා ගගේ ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළට - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

by Staff writer 13-12-2023 | 7:32 AM

COLOMBO (News 1st) - වර්ෂාවත් සමග නිල්වලා ගගේ හා කළු ගගේ අතු ගංගාවක් වන කුඩා ගගේ ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්. පී. සී සුගීෂ්වර මහතා සඳහන් කළේ, මේ පිළිබඳව ගංගා දෙපස ජනතාව විමසිලිමත් විය යුතු බවයි.

මේ අතර නිල්වලා ගගේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටම ඉක්මවා තවදුරටත් ඉහළ යමින් පවතින බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ කර්නල් ආරියවංශ කණ්ඩම්බි මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් අකුරැස්ස, අතුරලිය හා මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම්වල පහත්බිම් රැසක් හා මාර්ග ජලයෙන් යටවී තිබේ.

ඔහු පැවසුවේ, අකුරැස්ස - මාතර, අකුරැස්ස - කඹුරුපිටිය, අකුරැස්ස සියඹලාගොඩ, අකුරැස්ස - අතුරලිය, මාළිම්බඩ - වැල්ලතොට යන මාර්ග ජලයෙන් යටවී ඇති බවයි.

මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව අන්තර් හුවමාරුවෙන් වැලිගම හා කනංකේ දෙසට පිටවීම අවහිර වී ඇති බව අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා පැවසීය.

මේ අතර සබරගමුව, බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලවලට මිලිමීටර් 75ක පමණ තද වැසි අද (13) පස්වරුවේ ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.

උතුරු පළාතෙත් අනුරාධපුර හා හම්බන්තොට දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් විය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, බදුල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම අද පස්වරුව දක්වා දීර්ඝ කර ඇති බවයි.