ගර්භාෂ 2ක් සහිත කාන්තාවක් නිවුන් දරුවන් බිහි කරයි

ගර්භාෂ 2ක් සහිත කාන්තාවක් ලොවක් පුදුම කරවමින් නිවුන් දරුවන් බිහි කරයි..

by Chathurika Jayasundara 25-12-2023 | 10:32 AM

ගර්භාෂ 2ක් සහිත කාන්තාවක් නිරෝගී නිවුන් දරුවන් දෙදෙනෙකු බිහි කළ සුවිශේෂී පුවතක් අමෙරිකාවේ ඇලබාමා(Alabama) ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා.

32 හැවිරිදි කෙල්සි හැචර් (Kelsey Hatcher )නම් මේ කාන්තාව සිය දරුවන් දෙදෙනා ප්‍රසූත කර ඇත්තේ දින දෙකකදී වීම විශේෂත්වයක්.
 
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇය සිය එක් දියණියක් පසුගිය 19 වැනි අඟහරුවාදා බිහි කර ඇති අතර, දෙවැන්නා පසුදින බදාදා බිහි කළ බවයි.  

දරුවන් දෙදෙනා අතර වයස් පරතරය පැය 20ක් බවත් විදෙස් මාධ්‍ය පවසනවා 

කෙල්සි හැචර් සිය සමාජ මාධ්‍යවල මේ පිළිබඳව සඳහන් කර තිබුණේ අපේ ආශ්චර්යමත් දරුවන් ඉපදුණා ලෙසයි.

''අපි කවදාවත් මේ වගේ ගැබ් ගැනීමක් බලාපොරොත්තු වුණේ නෑ. අපේ දියණියන් දෙදෙනා ආරක්ෂිතව නිරෝගීව මේ ලෝකයට ගේන්න පුළුවන් වුණා ''  

අදාළ රෝහලේ වෛද්‍යවරියක් BBC සේවය වෙත පවසා ඇත්තේ මව සහ දියණියන් දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

මෙම යුවළ දැනටමත් අවුරුදු 7, 4 සහ 2 යන වයස්වල පසුවන දරුවන් තිදෙනෙකුගේ දෙමව්පියන්. 

මෙම තත්ත්වය ලොව පුරා වාර්තා වන අවස්ථා අතිශයින් දුර්ලභ අවස්ථාවක් වන අතරම ගර්භාෂ දෙකෙහිම ගැබ් ගැනීමේ සම්භාවිතාව ද මිලියනයකින් එකක් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. 

කෙල්සිට වයස අවුරුදු 17 දී ඇයට ද්විත්ව ගර්භාෂයක් ඇති බව හඳුනා ගෙන තිබෙන අතර, එය කාන්තාවන්ගෙන් සියයට 0.3 ක් තුළ ඇති වන දුර්ලභ සංජානනීය විෂමතාවයක්.