ශ්‍රී ලංකාව ඉනිමක පරාජයකින් බේරීමේ සටනක..

තුන්වැනි දිනයේ වැඩි ගෞරව නවසීලන්තයට: ශ්‍රී ලංකාව ඉනිමක පරාජයකින් බේරීමේ සටනක..

by Staff writer 19-03-2023 | 6:34 PM

COLOMBO (News 1st) - සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය තෙවන දිනටත් වෙලිංග්ටන්හීදී අද(19) පැවැත්විය. 

අද දිනයට තරගය අවසන් වූයේ නවසීලන්තයට වැඩි ගෞරවයක් හිමිකර දෙමිනි.

ඒ, ඉනිමක පරාජයෙන් බේරීම සඳහා සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම, නවසීලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 303ක් පිටුපසින් සිටියදීය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම රැස් කළ ලකුණු 580ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව රැස් කළේ ලකුණු 164ක් පමණි.

දිමුත් කරුණාත්න ලකුණු 89ක් රැස් කිරීමට සමත් විය.

අනතුරුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 97කදී බිඳ වැටුණි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී ද අර්ධ ශතකයක් වාර්තා කළ නායක දිමුත් කරුණාරත්න දැවීගියේ ලකුණු 51 ක් රැස් කරගෙන සිටියදී ය.

සිය ටෙස්ට් දිවියේ 17 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 50 ක් රැස් කළේය. 

අද (19) දිනය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා දෙවන ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 113ක් ලෙස සටහන් විය.