ලෝක කාන්තා දිනය අදයි..

ලෝක කාන්තා දිනය අදයි..

by Staff writer 08-03-2024 | 6:41 AM

COLOMBO (News 1st) –  ජාතිය, ආගම භාෂාව සංස්කෘතිය ආර්ථිකය හෝ දේශපාලනය නොසළකා කාන්තාවන්ගේ සාර්ථකත්වයන් පිළිගැනීමට ලක් කෙරෙන ලෝක කාන්තා දිනය අද(08)ට යෙදී තිබේ. 

මෙවර එහි තේමාව ''කාන්තාවන් වෙනුවෙන් ආයෝජනය කරන්න - ප්‍රගතිය වේගවත් කරන්න'' යන්නයි. 

දියණියක්,මවක් හා යෙහෙළියක ලෙස විවි‍ධ භූමිකා නිරූපනය කරන ඇය ලොවක් තනන්නට වෙර දරන්නේ ජිවිත‍යේ අසීමිත කැප කිරීම් කරමින් ය.

එහෙත් ලොව විවිධ රටවලදී කාන්තාවන්ට තවදුරටත් විඳීමට සිදුව ඇති ගැහැට පිළිබඳ අවදානය යොමු කරමින් 1974 වසරේදි එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ලෝක කාන්තා දිනය ප්‍රකාශයට පත් කළේ ය.

මෙවර කාන්තා දිනය සැමරෙන්නේ කතුන්ගේ යහපත සම්බන්ධයෙන් ඉවහල් වන ස්ත්‍රි පුරුෂ සමානාත්මතාව සාක්ෂාත් කර ගැනීම අන් කවරදාකටත් වඩා අභියෝගයක්ව පවතින කාලවකවානුවකයි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව කොවිඩ් වසංගතය හේතුවෙන් දිළිඳු භාවයට පත් මිලියන 342 ක් වන කාන්තාවන් හා ගැහැණු දරුවන් ඉන් මුදා ගැනීම 2030 වසර වනවිට ලෝකය මුහුණ දෙන බරපතළ අභියෝගයකි.

මිලියන 22 ක් වන මෙරට ජනගහණයෙන් 52% ක් කාන්තාවන් ය.

රටේ ආර්ථිකය බිඳ වැටීමේ ආදීනව වැඩියෙන්ම දැනෙන්නේ කාන්තාවන්ටයි.

ආර්ථික අවපාතයත් සමග ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇතිවූ කඩා වැටීමෙන්ද ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් පිරිසක් විරැකියාවෙන් පෙළේ.

මෙවැනි අභියෝග මැද සිරිලක කාන්තාව සවිබල ගැන්වි‍මේ දැඩි අවශ්‍යතාවක් පැන නැගී තිබේ. 

සම තැන කෙසේ වෙතත් නිසි තැන නොලැබීමේ ගැටලුවෙන් ශ්‍රී ලාංකීය කාන්තාව තවමත් මිදී නොමැති පසුබිමක ඔවුන් ශක්තිමත් කිරීම මුලු මහත් සමාජයේම වගකීමකි.