ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත

ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත

by Chathurika Jayasundara 29-04-2024 | 6:15 AM

COLOMBO (News 1st) -  ඉන්දියාව සහ පකිස්ථාන කිව්වම අපිම මතක් වෙන්නේ එතරම් සුබදායි මතකයන් නම් නෙමෙයි

දේශසීමා සහ දේශපාලනික අර්බුද වර්ධනය වීමෙන් මේ වනවිට සාමාන්‍ය ජීවිත තුළත් ඉන්දියාව හා පකිස්ථාන ගැටුම් වර්ධනය වෙලා තියෙනවා.   

නමුත් මේ සිත් රිදවීම් සහ අර්බුද මැද්දේ ඉන්දියාවයි හා පකිස්ථානයයි යා කරපු සිදුවීමක් වාර්තා වුණා. 

මේ, අයේෂා රෂාන්..

පකිස්ථානයේ, කරච්චි නුවර පදිංචි 19 හැවිරිදි තරුණියක්.  

පකිස්ථාන තරුණියක් වුණු අයේෂා මේ වෙද්දී ජීවත් වෙන්නේ ඉන්දියානුවෙකුගේ හදවතකින් බව ඔබ දන්නවාද? 

මනුෂත්වයට ජාති ආගම් භේද නෑ කියලා කිව්වත් ඉන්දියාවයි හා පකිස්ථානයි කියන්නේ  සමහර අවස්ථාවල යාන්තමටවත් සිය මිතුදම පවත්වාගෙන යන්න අකමැති රටවල් 2ක්. 

නමුත් දීර්ඝ කාලයක් තිස්සේ හෘදයාබාධයකින් පීඩා විදපු අයේෂාට ප්‍රතිකාර ලබා ගන්න ඔවුන් ගියේ ඉන්දියාවට.  

ඒත් ඇයගේ රෝගී තත්ත්වය එතරම් සුවදායක නොමැති නිසා අයේෂාට හදවතක් බද්ධ කිරීමට අවශ්‍ය බවට වෛද්‍යවරු නිර්දේශ කළා. 

එ් ශල්‍යකර්මය සඳහා වැයවෙන මුදල රුපියල් ලක්‍ෂ 35ක්.  

නමුත්, එම වියදම දරා ගන්න හැකියාවක් නැති හින්දා අයේෂාගේ පවුලේ අය සිටියේ දෙගිඩියාවෙන්.

මේ හේතුව හින්දාම වෛද්‍යවරු ඇයට රුධිරය පොම්ප කිරීමට උපකාර වන යාන්ත්‍රික පොම්පයක් සවි කළත් එය ද සාර්ථක වුණේ නෑ
 
අවසානයේදී අයේෂාට හදවතක් බද්ධ කිරීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නෑ 

ඒත් ඉන්දියාවේ සෞඛ්‍ය නීතිරීතිවලට අනුව, විදේශීය පුරවැසියෙකුට අවයවයක් ලබා දෙන්න පුළුවන් ඒ අවස්ථාවේ දී අවයවයක් ලබා ගන්න ඉන්දියානු ප්‍රතිග්‍රාහකයෙකු නැත්නම් පමණයි.   

දෛවයේ හාස්කමක් මෙන් අයේෂාට බද්ධ කිරීමට හදවතක් දිල්ලි නුවරින් ලැබුණා.

ඒ මියගිය 69 හැවිරිදි ඉන්දියානුවෙකුගේ හදවතක්.   

මොළය මිය ගිය රෝගියෙකුගෙන් ලබාගත් එ් හදවත නොමිලේම ඇයට සාර්ථකව බද්ධ කරන්න ඉන්දියාවේ වෛද්‍යවරු සමත් වුණා 

ඒ වගේම චෙන්නායිහි අරමුදලක් ද අයේෂාට අවශ්‍ය මූල්‍ය ආධාර ලබා දීලා තිබුණා 

"ඇය මගේ දුව වගේ, හැම ජීවිතයක්ම වැදගත්,"  අයේෂාගේ විස්මිත සැත්කම කරපු වෛද්‍යවරයා පැවසුවේ එවැන්නක්. 

මේ අතර අයේෂා සහ ඇයගේ පවුලේ සාමාජිකයින් වෛද්‍යවරුන්ට හා ඉන්දීය රජයට ස්තූතිය පළ කර තිබුණා. 

අයේෂාගේ අනාගත බලාපොරොත්තුව කෙදිනක හෝ නිරූපිකාවක් වීම බව ද ඇය ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා.