අද සවසත් ප්‍රදේශ කිහිපයකට තද වැසි...

අද සවසත් ප්‍රදේශ කිහිපයකට තද වැසි...

by Staff writer 30-04-2024 | 5:54 AM

COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් (30) තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පැවතීම හේතුවෙනි.

ඊයේ (29) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කබරගල - පුස්තකඩ මාර්ගය හරහා ගසක් කඩා වැටී තිබේ.

මේ හේතුවෙන් ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වූ අතර විදුලිය ද විසන්ධි විය. 

වර්ෂාවත් සමග ඉමදුව පරගහකුඹුර අධිවේගී මාර්ගයට පහළින් දිවෙන යටි බිම් හරස් මාර්ගය ද ජලයෙන් යටවී පැවතුණි.

මේ අතර අධික වර්ෂාවත් සමග මුහුද රළු වීම නිසා කළුතර උතුර ආබෲ මාවත ප්‍රදේශයෙන් ගොඩබිමට ජලය ගලාවිත් ඇත.

අප වාර්තාකරු පැවසුවේ, මේ හේතුවෙන් වෙරළේ තිබූ ධීවර යාත්‍රා සියල්ලම ආබෲ මාවත ප්‍රදේශයෙන් ගොඩට ගැනීමට සිදුවීමෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු මුළුමනින්ම අවහිර වූ බවයි.

මේ නිසා ආබෲ මාවතේ කොටසකට ද හානි සිදුව ඇත.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ හා ඌව පළාත්වල අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් විය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.