ඇල්ල, කරඳගොල්ල නායයෑම් අවදානම පාලනයට පියවර..

ඇල්ල, කරඳගොල්ල නායයෑම් අවදානම කෙටි කාලයක් තුළ පාලනයට පියවර..

by Staff writer 02-05-2024 | 11:06 AM

COLOMBO (News 1st) - ඇල්ල, කරඳගොල්ල නායයෑමේ අවදානම කෙටි කාලයක් තුළ පාලනය කළ හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධ‍න මහතා පැවසුවේ ය.

ඔහු මේ බව පැවසුවේ එම ප්‍රදේශයේ නායයෑමේ අවදානම නිරීක්ෂණයට එක්වෙමින් ය.

මේ අතර, ඇල්ල, වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල, මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම් තත්ත්වයක් ඇති ස්ථානය පිළිබඳ වාර්තාවක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සතියක පමණ කාලයක් තුළ ලබාදීමට එකඟත්වය පළ කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.

ඔහු පැවසුවේ, මෙම වාර්තාව මගින් භූමියේ අස්ථාවරත්වය හඳුනාගෙන එය ස්ථාවරත්වයට පත් කිරීම සඳහා වන කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් මෙමගින් ලබා දෙනු ඇති බවයි.

මහජනතාව අතර මතයක්ව තිබූ කරඳගොල්ල මලිත්තගොල්ල නායයාම හා උමා ඔය භූගත ජල මාර්ගය අතර සම්බන්ධයක් ඇද්ද යන්න පිළිබඳවද ජල මූලාශ්‍ර අධ්‍යයනය කොට විමර්ශනය කර තිබේ. 

එම තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා යම් භූ විද්‍යාත්මක පරීක්ෂණ සිදු කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළ බවත් ඒ සඳහා අවශ්‍ය උපකරණ ගණනාවක් භූමියේ ස්ථාපනය කරනු ලැබූ බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.