.webp)
ඒ , ඔහු අද (06) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවසරයෙන් ඉදි කළ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ, අරගලයේදී හානිවූ බව කියමින් රුපියල් ලක්ෂ අසූ අටකට අධික වන්දි මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් මත ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේ ය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් කියා සිටියේ, මහවැලි අධිකාරියට අයත් කිරිඉබ්බන් වැව, සමගි පුර ප්‍රදේශයේ පිහිටි ඉඩමක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගොඩනැගිල්ලක් ඉදිකර දේශපාලන කාර්යාලයක් පවත්වාගෙන යමින් තාවකාලිකව පදිංචි වීම ඇති බවයි.
එම ඉඩම සඳහා ඔහුට හෝ වෙනත් පුද්ගලයෙකුට මහවැලි අධිකාරිය හෝ ජනාධිපතිවරයා කිසිදු ආකාරයක නීතිමය ලියවිල්ලක් මගින් හිමිකම් පැවරීමක් කර නැතැයි, කොමිසම පෙන්වා දුන්නේ ය.
2022 ජනතා අරගලය අවස්ථාවේ මෙම දේපළ හානිවූ බව සඳහන් කරමින් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අත්සන් කර ඉල්ලීමක් ඉදිරිපත්කර ඇති බවත් හානි පූර්ණ කාර්යාලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබූ බවත් අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීමේ සඳහන්.
කොමිසම පෙන්වාදුන්නේ පසුව සැකකාර ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙම දේපළ හිමිකරු යැයි සඳහන්, මනෝජ් ඒකනායක නැමැත්තෙකුට වන්දි ගෙවන ලෙසත් ඊට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවටත් හානිපූර්ණ කාර්යාලයට දැනුම්දී ඇති බවයි.
මනෝජ් ඒකනායක නැමැත්තාට නෛතික හිමිකමක් නොමැති මහවැලි අධිකාරිය සතු මෙම දේපළ අනාගතයේදී ඔහුට විධිමත් ලෙස පවරන බව පවසමින් මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලපෑම් කර ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා රුපියල් අසූඅට ලක්ෂ පනස්දහසක වන්දි මුදලක් අවස්ථා දෙකකදී ලබාගෙන ඇතැයි, අල්ලස් කොමිසම මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නේ ය.
එය දූෂණ විරෝධී පනත යටතේ "දූෂණය" නැමැති වරද සිදු කිරීමක් බව සඳහන් කළ කොමිසම කියා සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන බවයි.
හානිපූර්ණ කාර්යාලයේ නිලධාරීන් ගණනාවකගෙන් ප්‍රකාශය සටහන් කර ගැනීමට නියමිත බවත් දූෂණ විරෝධී පනත හා පොදු දේපළ පනත යටතේ මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවත් නිලධාරීන් දැනුම් දුන්නේ ය.
ඔවුන් කියා සිටියේ පොදු දේපළ පනත යටතේ සැකකරුට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ සහතිකයක් ඉදිරිපත් කරන බවයි.
ඒ අනුව සැකකරු පොදු දේපළ පනත යටතේ මෙම නඩුව අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේ ය.
තම සේවා දායකයාට එරෙහිව පොදු දේපළ පනත යටතේ හෝ දූෂණ විරෝධී පනත යටතේ චෝදනා ඉදිරිපත් කළ නොහැකි බව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා එහිදී පෙන්වා දුන්නේ ය.
ඔහු කියා සිටියේ, මෙම සිද්ධියට සම්බන්ධ ඉඩමේ සිය සේවා දායකයා විසින් අනවසර ඉදිකිරීමක් සිදු කර ඇති බවට අල්ලස් කොමිසම ප්‍රකාශ කළත් ඊට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවයි.
අදාළ වන්දි මුදල ලබාගෙන තිබෙන්නේ ඒකනායක නැමැති පුද්ගලයෙකු බවත් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකොට තම සේවා දායකයා ඉදිරිපත් කිරීම පදනම් විරහිත ක්‍රියාවක් බවටත් ජනාධිපති නීතිඥවරයා තර්ක කළේ ය.
ඔහු ඉල්ලා සිටියේ තම සේවා දායකයා ඕනෑම කොන්දේසියක් මත ඇප මත මුදා හරින ලෙසයි.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ ය.