ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ නඩුවකට දින නියම වෙයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න ඇතුළු නව දෙනෙකුට එරෙහිව නීතිපති ගොනු කළ නඩුව ඔක්තෝබර් මස 30 වැනිදා කැඳවීමට දින නියම වෙයි..

by Staff writer 18-09-2025 | 3:28 PM

COLOMBO (News 1st) - 

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී විශ්‍රාමික බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න මහතා ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව යළි  ඔක්තෝබර් මස 30 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියම කළේ ය.

නඩුව විභාග කිරීම සඳහා හිටපු අගවිනිසුරුවරිය විසින් මහාධිකරණ විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ, මහේෂ් වීරමන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම්කර තිබූ අතර එම විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාගයට ගෙන තිබුණි.

එහෙත් අද නඩුව මහේෂ් වීරමන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී  එම විනිසුරුවරු දැනුම් දුන්නේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ එක් විනිසුරු ධූරයක් පුරප්පාඩුව පවතින බැවින් මෙම නඩුව කල් දැමීමට සිදුවන බවයි.

පුරප්පාඩුව පවතින විනිසුරු ධූරය සඳහා විනිසුරුවරයකු අගවිනිසුරුවරයා විසින් පත් කරනු ඇති බවත් ඔවුන් සඳහන් කළේ ය.

ඒ අනුව මෙම නඩුව යළි ඔක්තෝබර් මස 30 වැනිදා කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී  ෂම්මි කුමාර රත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම්කර සිටින අතර ඔවුන් මේ වන විට ඇප මත මුදා හරිනු ලැබ සිටියේ ය.

2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන්  නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.