සිරස මාධ්‍ය ජාලය සහ මැකාවුහි TDM අතර ගිවිසුමක්

චීන සහ මැකාවු සංචාරකයින් මෙරටට ආකර්ෂණය කරගැනීමට සිරස මාධ්‍ය ජාලයෙන් සුවිශේෂී ප්‍රවේශයක්!

by Staff writer 13-05-2026 | 12:31 PM

COLOMBO (News 1st) -ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව මානයක්  සනිටුහන් කරමින්, මහරාජා මාධ්‍ය ජාලය සහ මැකාවු හි රාජ්‍ය විකාශන සේවය වන TDM  මාධ්‍ය (Teledifusão de Macau) ආයතනය අතර අද (මැයි 13) ඓතිහාසික අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි. මෙම හවුල්කාරිත්වයේ ප්‍රධානතම ඉලක්කය වන්නේ මාධ්‍ය සහයෝගීතාව හරහා චීනය සහ මැකාවු රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ඉහළ නැංවීමයි.

මැකාවු හිදී දැනට පැවැත්වෙන ආසියා-පැසිෆික් විකාශන සංගමයේ (ABU) පාලක සභා රැස්වීමට සමගාමීව මෙම ගිවිසුම අත්සන් තැබීම විශේෂත්වයකි. මහරාජා මාධ්‍ය ජාලය වෙනුවෙන් එහි සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර, TDM ආයතනය වෙනුවෙන් එහි විධායක කමිටු සභාපති ලෝර්මන් ලෝ සොන්ග් මෑන් මහතා අත්සන් තැබීය.

මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ සංස්කෘතික අනන්‍යතාවය චීන සහ මැකාවු ප්‍රේක්ෂකයින් අතරට සෘජුවම රැගෙන යාමට මහරාජා මාධ්‍ය ජාලය පියවර ගනු ලබන අතර විශේෂයෙන්ම මැකාවු රාජ්‍යය හරහා ප්‍රධාන පෙළේ චීන සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම මෙහි ප්‍රමුඛ අරමුණකි.

මෙම අවස්ථාවට එක්වෙමින් ශෙවාන් ඩැනියෙල් මහතා මෙසේ අවධාරණය කළේය:

"මෙම හවුල්කාරිත්වය හරහා මැකාවු සහ චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ඉහළ නැංවීමට විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා. එම ප්‍රේක්ෂකයින් වෙත සෘජුවම සමීප වීම තුළින් අපේ සුන්දර දිවයින පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වනවා."

මැකාවු හි ප්‍රධානතම රාජ්‍ය විකාශකයා වන TDM ආයතනය සතුව රූපවාහිනී නාලිකා 5ක් (TDM Ou Mun, Canal Macau, TDM Info, TDM Sport සහ TDM Entertainment) පවතින අතර ඒවා කැන්ටනීස්, මැන්ඩරින්, පෘතුගීසි සහ ඉංග්‍රීසි යන භාෂාවලින් ක්‍රියාත්මක වේ. මෙම නාලිකා සහ ඔවුන්ගේ චන්ද්‍රිකා විකාශන ජාලය හරහා ශ්‍රී ලංකාව පිළිබඳව පුළුල් ප්‍රචාරණයක් ලබා දීමට මෙහිදී එකඟතාව පළ විය.

මෙම ගිවිසුමේ ප්‍රධාන අපේක්ෂාවන්:
වැඩසටහන් හුවමාරුව: ලාංකේය සංචාරක ස්ථාන පිළිබඳ වාර්තාමය වැඩසටහන් මැකාවු සහ චීන ප්‍රේක්ෂකයින් අතර ප්‍රචලිත කිරීම.

සංස්කෘතික සන්නිවේදනය: දෙරට අතර සංස්කෘතික සහ සමාජීය අවබෝධය වර්ධනය කරමින් සංචාරක ක්ෂේත්‍රයේ විශ්වාසය ගොඩනැගීම.

කලාපීය මාධ්‍ය සන්ධානය: ඩිජිටල් සහ සමාජ මාධ්‍ය යුගය තුළ ආසියානු කලාපයේ ප්‍රබල මාධ්‍ය ජාලයක් ලෙස කටයුතු කරමින් ආර්ථික ප්‍රතිලාභ ළඟා කර ගැනීම.

මෙම නව සබඳතාවය ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන අතර, නූතන ඩිජිටල් අවකාශය තුළ ලාංකේය සංචාරක කර්මාන්තය නව මාවතකට යොමු කරන තීරණාත්මක සන්ධිස්ථානයක් වනු නිසැකය.