උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලා, ගොනු කළ පෙත්සම ඉවතට

උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලා, ගොනු කළ පෙත්සම ඉවතට

by Staff writer 23-07-2026 | 12:05 PM

COLOMBO(News1st) - පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරවම නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.

ඒ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දුගේ එකඟත්වය ඇතිව සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය නියෝගය ප්‍රකාශයට පත් කළේය.

විභාගය පෙනී සිටින සිසු සිසුවියන් නව දෙනෙකු විසින් එම පෙත්සම ගොනු කර තිබූ අතර එය පසුගිය 16 වැනිදා අභියාචනාධිකරණය හමුවේ සලකා බැලුණි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භූපති කහතුඩුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛවලට අනුව අනිවාර්යෙන් පැවැත්විය යුතු පාසල් දින සංඛ්‍යාව නියම කර ඇති බවයි.

දිට්වා සුළි කුණාටුව සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් බදාදා දිනවල රජයේ නිවාඩු ප්‍රකාශයට පත් කිරීමට රජය ගනු ලැබූ තීරණ හේතුවෙන් පාසල් නිසි පරිදි නොපැවැත්වූ බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

එහිදී පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න කියා සිටියේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිසු සිසුවියන් 3 ලක්ෂ 78,000ක් පමණ ලියාපදිංචි වී ඇති බවයි.

නමුත් ඉන් නව දෙනෙකු පමණක් මෙම විභාගය කල් දමන ලෙස ඉල්ලා අධිකරණය හමුවට පැමිණ තිබෙන බවත් ඔහු කියා සිටියේය.

පාසලෙන් විභාගවලට පෙනී සිටීමට සිසුන් ‍වාර්ෂිකව පාසැල් පැමිණීමෙන් සියයට 80ක් සම්පූර්ණ කිරීම අවශ්‍ය බවත් පෙත්සම්කරුවන් අතුරින් එක් පෙත්සම්කාර ශිෂ්‍යයකුගේ පාසල් පැමිණීම සටහන් වී ඇත්තේ 7.2%ක් ලෙස බවත් ඔහු ප්‍රකාශ කළේය.

උසස් පෙළ විභාගය කල් දැමීම තුළින් විශ්වවිද්‍යාල ප්‍රවේශය වැනි කටයුතුවලටද දැඩි අගතියක් සිදුවනු ඇති බව සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළේය.

ඒ අනුව කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර ලබා දීමකින් තොරව නිශ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.