කොකේන් තොගයක් සමග විදේශිකයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 110කට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් තොගයක් සමග විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට

by Staff writer 25-07-2026 | 7:52 AM

COLOMBO(News1st) - රුපියල් මිලියන 110කට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් තොගයක් සමග විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපොල රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රේගුව පැවසුවේ, 79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික කෘෂිකාර්මික ඉංජිනේරුවරයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු පසුගිය 22 වැනිදා සියෙරා ලියෝන් සිට අඩිස් අබාබා සහ දෝහා හරහා මෙරටට පැමිණ තිබේ.

ඔහුගේ අත් බෑගය රේගු නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළද කිසිදු සැකකටයුතු ද්‍රව්‍යයක් නොවීම හේතුවෙන් ඔහුට ගුවන් තොටුපොලෙන් පිටව යාමට අවසර ලබාදී තිබුණි.

රේගුව පැවසුවේ, ප්‍රමාදවී පැමිණි ඔහුගේ තවත් බෑගයක් පරීක්ෂාවට ලක් කිරීමේදී , ලිපිගොනු රඳවන දෙකක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් පාර්සල් හතරක් සොයා ගත් අතර එය රැගෙන යාමට පැමිණි අවස්ථාවේ සැකකරුව අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් කොකේන් තොගයේ බර කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 198 ක් වන අතර, එහි දළ වටිනාකම රුපියල් මිලියන 109.9 ක් වේ.

ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කර ඇති බවත් සැකකරු සහ අත්අඩංගුවට ගත් කොකේන් තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත බවත් රේගුව සඳහන් කළේ ය.