ඉතිහාස ගතවන සාකච්ඡාව...

ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු, චීන සහ රුසියානු නායකයින් අද එකම සාකච්ඡා මේසයට...

by Staff writer 19-11-2026 | 11:25 AM

COLOMBO (News 1st) - ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු චීන සහ රුසියානු රාජ්‍ය නායකයින් අද චීනයේ ශෙන්ජෙන් නුවරදී එකම සාකච්ඡා මේසයකට එක් වේ.

මීට පෙර එම රටවල ජනපති ධුරයේ කටයුතු කර ඇති පුද්ගලයින් විවිධ සමුළු සහ රැස්වීම් සඳහා එකම මොහොතේ සහභාගී වී තිබුණද, එම රටවල ජනාධිපතිවරුන් අතර "පමණක්" පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙයයි.

න්‍යෂ්ටික අවිහරණය සහ ඉරාන යුද්ධය පිළිබඳව එහිදී සාකච්ඡා කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ලෝකයක් කැළඹීමකට ලක්කළ ඉරාන - ඇමරිකා - ඊශ්‍රායල යුද්ධය, රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය මෙන්ම තාක්ෂණ කේෂ්ත්‍රය දැඩි තරගකාරී මොහොතක න්‍යෂ්ටික බලවතුන්ගේ සාකච්ඡාව පිළිබඳව අද ජාත්‍යන්තරයේ වැඩිම අවධානයක් යොමු වේ.

ඒපෙක් හෙවත් 33වැනි ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සංවිධානයේ රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් චීනයේ ශෙන්ජෙන් නුවරට ළඟා වූයේ පෙරේදා (17) දිනයේදී යි.

මහත් හරසරින් යුතුව එහිදී රුසියානු ජනාධිපතිවරයා පිළිගත්තේ චීන ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විසින්..

කෙසේ නමුත් පිලිපීනයේ පැවති ආසියාන් සමුළුවෙන් පසු,, ඊයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ශෙන්ජෙන් ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී ඔහු පිළිගැනීමට චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග් පෞද්ගලිකවම පැමිණ සිටීම විශේෂත්වයක්..

පසුගිය සැප්තැම්බර් මාසයේදී චීන ජනාධිපතිවරයාගේ ඇමරිකානු සංචාරය අතරතුරදීද ෂී ජින් පින් පිළිගැනීමට, ඩොනල්ඩ් ට්‍රම්ප් එලෙස ගුවන් තොටුපොළට පැමිණ සිටියේ ය.

මෙවැනි පසුබිමක ඊයේ (18) සමුළුවට පැමිණි රාජ්‍ය නායකයින් පිළිගැනීම වෙනුවෙන් පැවති භෝජන සංග්‍රහයට පෙර, ලෝක නායකයින් සමූහ ඡායාරුපයකටද පෙනී සිටියහ.

එහිදී චීන ජනාධිපතිවරයාගේ එක් පසෙක ඔහුගේ ආර්යාව සහ අනෙක් පස ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සිටගත් පසුබිමක, රුසියානු ජනාධිපතිවරයා සිටගත්තේ චීන ජනපති ආර්යාව අසලිනි.

2025 වසරේ අගෝස්තු මාසයේදී ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ පැවති සාකච්ඡාවෙන් පසු ට්‍රම්ප් සහ පුටින් මුහුණට මුහුණ හමුවූ පළමු අවස්ථාවද මෙයයි.

ඇමරිකානු සහ රුසියානු නායකයින්ද අද (19) ද්විපාර්ශ්වික සාකච්ඡාවකට එක්වන බව විදෙස් වාර්තාවල සඳහන්.