පුද්ගලයෙකුට මරු කැඳවූ බිහිසුණු රොබෝ ප්‍රහාරය..

නිමේෂයකින් සිදු වූ අතපසුවීමකින් පුද්ගලයෙකුට මරු කැඳවූ බිහිසුණු රොබෝ ප්‍රහාරය..

by Chathurika Jayasundara 11-11-2023 | 2:11 PM

COLOMBO (News 1st) –  රොබෝ තාක්ෂණය කියන වචනය සංවර්ධනය වෙමින් පවතින අපේ වගේ රටකට තවමත් ටිකක් විතර නුපුරුදු වචනයක් වුණත්,  නූතන ලෝකය තුළ රොබෝ තාක්ෂණය නුපුරුදු වචනයක් නෙමෙයි.

මිනිස් ක්‍රියාකාරකම් පහසු කිරීමට මිනිසා විසින්ම නිර්මාණය කළ මෙවලමක් තමයි මේ රොබෝ තාක්ෂණය.

නමුත්, මිනිසා විසින්ම නිර්මාණය කරපු මේ රොබෝ යන්ත්‍රයක් නිසා පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අවස්ථාවන් ගැන ඔබ අහලා තියෙනවාද? 

දත්ත හඳුනා ගැනීමේදී ඇති වූ යම් අපහසුතාවක් ‌හේතුවෙන් කෘෂිකාර්මික කර්මාන්ත ශාලාවක සේවකයෙක් රොබෝ කෙනෙකු අතින් ඝාතනය වීමේ ඉතා ඛේදනීය සිදුවීමක් දකුණු කොරියාවෙන් වාර්තා වෙනවා. 

මේ රොබෝට පැවරුණු රාජකාරිය වු‌ණේ, ගම්මිරිස් පෙට්ටි ඔසවා ඒවා පැලට් මතට මාරු කිරීමේ වගකීමයි. 

අදාළ පුද්ගලයා රොබෝගේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරමින් සිටියදී අනපේක්ෂිත ආකාරයට මේ සිද්ධිය සිදුව ඇති බව වාර්තා වෙනවා. 

වරදවා වටහා ගත් රොබෝ තම අතකින් මේ පුද්ගලයාගේ සිරුරේ උඩු කොටසින් අල්ලා යන්ත්‍රයකට තල්ලු කර, මුහුණ සහ පපුව කුඩු කර දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  
40  හැවිරිදි මේ පුද්ගලයා රෝහල්ගත කරත් පසුව මියගොස් තිබෙනවා. 

මීට පෙර ද මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන කම්හලක සේවය කරමින් සිටියදී, 50 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයෙකු ද දත්ත හඳුනා ගැනීමේදී ඇති වූ යම් අපහසුතාවක් නිසා රොබෝවරයෙකුට හසුවීමෙන් බරපතල තුවාල ලැබුවා.