රත්තරනින් නිමකළ ඇඳුමින් සැරසුණු අම්බානිගේ මනමාලිය.

රත්තරනින් නිමකළ ඇඳුමින් සැරසුණු අම්බානිගේ මනමාලිය..

by Chathurika Jayasundara 14-07-2024 | 5:29 PM

COLOMBO (News 1st) -අම්බානක වියදමක් දරපු සුපිරි මඟුල් ගෙදරක් ගැන බලමුද ?

මේ , ආසියාවේ ධනවත්ම පවුලේ මඟුල් ගෙදරක්

මුකේෂ් අම්බානි කියන්නේ ආසියාවේ ධනවත්ම පුද්ගලයා විතරක් නෙමෙයි ලොව ධනවත්ම පුද්ගලයින් කිහිප දෙනා අතුරෙන් එක් අයෙක්.

ආනන්ද් අම්බානි කියන්නේ අම්බානි පවුලේ බාලම පුතා.

ආනන්ද්ගෙයි , රාධිකාගෙයි දැවැන්තම විවාහ උත්සවය ඊයේ ආරම්භ වුණා

මේක දින 04ක් පුරාවට පැවැත්වෙන විවාහ මංගල්‍යයක්  

ධන කුවේර මුකේෂ් අම්බානිගේ පුතාගේ අත ගත්තු මේ සුරූපි යුවතිය ගැන දැන් වැඩි දෙනෙකුගේ අවධානය යොමුවෙලා  තියෙනවා.

රාධිකා ආනන්ද්ව බැන්දේ සල්ලිවලටද කියන ප්‍රශ්නය තමයි හැමෝගෙම පොදු මාතෘකාව වෙන්නේ?  

රාධිකා කියන්නේත් අම්බානි පවුලත් එක්ක කරට කර ගැටෙන්න පුළුවන් විදිහේ ධනවත් පවුලක දියණියක්.  

ඇය ඉන්දියාවේ ධනවත් ඖෂධ ව්‍යාපාරිකයන් වන විරේන් සහ ෂයිලා මර්චන්ට්ගේ දියණිය.

රාධිකා ඇගේ විවාහ මංගල්‍යයේදී සැරසී සිටියේ, සාම්ප්‍රදායික ලෙහෙංගා ඇඳුමකින්.  

ඇගේ මංගල ඇඳුම විශේෂත්වය තමයි එය නිර්මාණය කර තිබුණේ සැබෑම රත්තරං වලින් 
විදෙස් මාධ්‍ය ඇය සියවසේ මනාලිය ලෙසත් නම් කර තිබුණා.

මේ අපූරු විවාහ උත්සවය නිමිත්තෙන් අධික වියදමකින් යුතු සුඛෝපභෝගී ප්‍රිය සම්භාෂණ පූර්ව සැමරුම් උත්සවයන්ද පසුගිය මාර්තු මාසයේ සිටම පවත්වලා තිබුණා.  ‍

මේ උත්සවයට පැමිණි අමුත්තන් 1,200 අතර ජාත්‍යන්තර කීර්තිමත් පුද්ගලයින්, දේශපාලනඥයන් සහ මෙටා අධිපති මාර්ක් සකර්බර්ග් සහ මයික්‍රොසොෆ්ට් අධිපති බිල් ගේට්ස් ඇතුළුව ව්‍යාපාරික ලෝකයේ සාමාජිකයොත් සහභාගි වුණා.

ඒ වගේම බොලිවුඩ්හී සුපිරි නළු නිළියන්, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සහ වර්තමාන ක්‍රීඩකයින් ද ඒ අතර සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධනත් අම්බානිගේ විවාහ උත්සවයේ ආරාධිතයින් අතර සිටීම විශේෂත්වයක්.

ඒ වගේම ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සහ හිටපු නායක සනත් ජයසූරියටත් මෙම විවාහ උත්සවට ආරාධනා ලැබිලා තියෙනවා.

නමුත් X සටහනක් මගින් ආනන්ද් අම්බානිට මහ රාධිකාට සුබ පැතුම් එක් කරමින් සනත් කියා සිටියේ නොවැලැක්විය හැකි හේතුවක් නිසා ඔහුට විවාහ උත්සවයට සහභාගි වීමට නොහැකි බවයි.

යුගයේ දැවැන්තම විවාහ මංගල්‍යය වෙනුවෙන්  මුම්බායි නගරයේ ප්‍රධාන මාර්ග දිනකට පැය කිහිපයක් වසා තබනවා කියලත් විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා

ජූනි මාසයේදී අම්බානි පවුල තවත් පූර්ව විවාහ උත්සවයක් සංවිධානය කළා ඒ , ඉතාලියේ සිට ප්‍රංශය දක්වා ගමන් කළ සුඛෝපභෝගී නෞකාවක.

මේ දැවැන්ත විවාහ මංගල්‍යයට කීයක් වියදම් වෙනවද කියලා අම්බානි පවුල තාමත් හෙළි කරලා නම් නෑ

හැබැයි විවාහ උත්සවයේ සැලසුම්කරුවන් නම් කියන්නේ, ඉන්දියානු රුපියල් බිලියන 11ත් 13ත් අතර මුදලක් මේ වෙනුවෙන් වැය කරලා තියෙනවා කියලයි

මාර්තු මාසයේ තිබුණ පූර්ව සැමරුම් උත්සවයට රියානාගේ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 7ක් ගෙවලා කියලත් කටකතාවකුත් පැතිරෙනවා.  

ඒ විතරක් නෙ‍ෙමයි ජස්ටින් බීබර් වෙනුවෙනුත් ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් ගෙවලා  තියෙනවා

මේ විවාහයට සහභාගි වෙන්න එන අමුත්තන් වෙනුවෙන් අම්බානි පවුල විසින් ජෙට් යානා 3ක් කුලියට අරන් තියෙනවා.