ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින ශ්‍රී ලංකා සංචිතය නම් ක

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහි එක්දින සංචිතය නම් කෙරේ,ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් සංචිතයට කැඳවයි

by Staff writer 30-05-2023 | 10:01 PM

COLOMBO (News 1st) - ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද(30) ප්‍රකාශයට පත් කළේ ය.

තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දසුන් ශානකට හිමිව ඇති අතර උප නායකත්වය දරන්නේ කුසල් මෙන්ඩිස් විසිනි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නටද මෙම සංචිතයේ අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයකි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණද මෙම සංචිතයට නම් කර තිබේ.

ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න, වනිදු හසරංග, පැතුම් නිස්සංක,චරිත් අසලංක,සදීර සමරවික්‍රම සහ දුෂාන් හේමන්තද මෙම සංචිතයට ඇතුළත් වේ.

වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ කසුන් රාජිත, මෙම සංචිතයේ සිය ස්ථාන වෙන් කරගෙන ඇත.

තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන මස දෙවැනිදා, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත වේ.