IPL කිරුළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට

චෙන්නායි සුපර් කිංග්ස් 5 වැනි වරටත් IPL ශූරතාව දිනාගනී

by Staff writer 30-05-2023 | 6:09 AM

COLOMBO (News 1st) - මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග ඉතිහාසයේ 5වැනි වරටත් ශූරයින් බවට පත්විය.

ඒ, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග පැවැති 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 5කින් ජය ගනිමිනි.

ලක්ෂයකට අධික ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයෙන් අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගය පැවැත්විය.

ඒ, මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් සහ හර්ඩික් පාන්ඩ්‍යාගේ නායකත්වයෙන් යුත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතරයි.

තරගයේ කාසියේ වාසිය ජයගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අවසන් මහා තරගයේ පළමුව පන්දු රැකීම තෝරා ගත්තේ ය.

ඒ අනුව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ, තරගාවලියේ සාර්ථකම පිතිකරුවා වන ශුබ්මන් ගිල් සහ රිද්දිමන් සාහා.

ශුබ්මන් ගිල් ලකුණු 3කට දවා ගැනීමට තිබූ අවස්ථාවක් චෙන්නායි සුපර් කිංගස් කණ්ඩායමට අහිමි වුණේ, ඔහු ලබා දුන් උඩ පන්දුවක් දීපාක් චහාර් අතින් ගිලිහී යාමත් සමගයි.

ඒ අවසරයෙන් ඉනිම ගොඩනැගූ පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 67කි එක් කළේ ය.

ශුබ්මන් ගිල් වේගවත් ලකුණු 37ක් රැස් කළේ, හතරේ පහර 7ක්ද සමගිනි.

රවීන්ද්‍ර ජඩේජාගේ පන්දුවක් හමුවේ ශුබ්මන් ගිල් දැවී ගියේ ය.

දෙවැනි කඩුල්ලටත් ලකුණු 64ක් සබඳතාවයක් එක් කළේ, රිද්දිමන් සාහා සමග එක් වූ සායි සුදර්සන්.

රිද්දිමන් සාහා ලකුණු 54ක් රැස් කළේ ය.

ඔහු පිටියෙන් ඉවත් කළේ, දීපාක් චහාර්.

ගුජරාට් ටයිටන්ස් ලකුණු පුවරුව ලකුණු 200 සීමාවට රැගෙන එමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සායි සුදර්සන් ලකුණු 96ක් රැස් කළේ ය.

ඔහුගේ ඉනිම හතරේ පහර 8කින් සහ දැවැන්ත හයේ පහර 6කින් වර්ණවත් විය.

ශතකය පෙනෙන මානයේදී ඔහු දැවී ගියේ මතීෂ පතිරණගේ පන්දුවක් හමුවේයි. 

නායක හර්ඩික් පාන්ඩ්‍යා නොදැවී ලකුණු 21යි.

නියමිත පන්දුවාර 20 අවසානයේ ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩකයින් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 214ක් දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගුවේ ය.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 44ට කඩුලු 2යි.

ලකුණු 215ක ඉලක්කයකින් චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩකයින් පිළිතුරු ඉනිම ආරම්භ කළේ ය.

නමුත් පළමු පන්දුවාරය අවසන් වීමට මත්තෙන් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණි.

ඒ අනුව වර්ෂාවෙන් අනතුරුව නැවතත් රාත්‍රී 12.10ට තරගය ආරම්භ කළේ, පන්දුවාර 15කට තරගය සීමා කරමිනි.

ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා චෙන්නායි සුපර් කිංගස් ක්‍රීඩකයින්ට හිමි වූ ඉලක්කය ලකුණු 171කි.

රුතුරාජ් ගයික්වාඩ් සහ ඩෙවෝන් කෝන්වේ චෙන්නායි පළමු කඩුල්ලට වේගවත් ලකුණු 74ක සබඳතාවයක් ගොඩනැගුවේ ය.

ගයික්වාඩ් ලකුණු 26කට දැවී ගියේ, නූර් අහමඩ්ගේ පන්චුවක් හමුවේයි.

ඩෙවෝන් කෝන්වේ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ද සමගින් ලකුණු 47ක් රැස් කළේ ය.

අවශ්‍යම මොහොතේ චෙන්නායි ලකුණු පුවරුවට වේගවත් ලකුණු එක් කළ අජින්ක්‍යා රහනේ ලකුණු 27කට දැවී ගිය අතර අම්බටි රයුඩු ලකුණු 19යි.

නායක මහේන්ද්‍ර සිං දෝනිට අවසන් මහා තරගය තුළ එකදු ලකුණක් හෝ රැස් කිරීමට හැකිවූයේ නැත.

ඔහු මුහුණදුන් පළමු පන්දුවෙන්ම පිටියෙන් ඉවත්වුණේ මෝහිත් ශර්මාගේ පන්දුවක් හමුවේයි.

ඔහුගේ දැවී යාමත් සමග චෙන්නායි ප්‍රේක්ෂකාගාරයේ බලාපොරොත්තු මදකට ඈත්ව ගියේ ය.

නමුත් ඉන්පසු කඩුල්ලේ එක්වුණේ, ෂිවම් ඩුබේ සහ රවීන්ද්‍ර ජඩේජා.

ඔවුන්ට අවසන් පන්දුවාරය තුළ හිමි වූ ඉලක්කය ලකුණු 14කි.

මෝහිත් ශර්මා ක්‍රියාත්මක කළ තීරණාත්මක පන්දුවාරයේ පළමු පන්දු 4ටම ඔවුන්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 4ක් පමණි.

පන්දුවාරයේ පස්වැනි පන්දුවට රවීන්ද්‍ර ජඩේජා දැවැන්ත හයේ පහරක් එල්ල කළේ තරගය තව තවත් උණුසුම් කරමිනි.

ලකුණු 4ක් අවශයව තිබූ අවසන් පන්දුව හතරේ පහරකින්ම සම්පූර්ණ කළ ජඩේජා තරගයේ ජය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හිමිකර දුන්නේ ය.

ඒ අනුව ඔවුන් අයි පී එල් තරග ඉතිහාසයේ ශූරයින් බවට පත්වූයේ පස්වැනි වරටයි.

ඒ කණ්ඩායමක් විසින් අයි පී එල් කිරුළ දිනූ වැඩිම අවස්ථා ගණන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා සමකරමිනි.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කිරුළ දිනූ අවස්ථා 5දීම කණ්ඩායමේ නායකයා ලෙස මහේන්ද්‍ර සිං දෝනි කටයුතු කිරීම විශේෂත්වයකි

අවසන් මහා තරගයේ වීරයා ලෙස චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩක ඩෙවෝන් කෝන්වේ සම්මාන දිනූ අතර තරගාවලියේ වීරයා ගුජරාට් ටයිටන්ස් ශුබ්මන් ගිල්.