කාන්තා ක්‍රිකට් කණ්ඩායම රන් පදක්කම පේන මානයට..

පකිස්ථානය පැරදවූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් තරගයට

by Staff writer 24-09-2023 | 2:19 PM

COLOMBO (News 1st) - චීනයේ හංජෝ හිදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ දී, ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකි විය.

ඒ පකිස්ථානයට එරෙහිව අද (24) පැවති අවසන් පූර්ව වටයේ තරගය කඩුලු 06කින් ජයගැනීමත් සමගිනි.

ඒ අනුව, ශ්‍රී ලංකාව හෙට(25) ඉන්දියාවට එරෙහිව රන් පදක්කම වෙනුවෙන් තරග වදිනු ඇති.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 75ක් රැස් කළේ ය.

එහිදී උදේශිකා ප්‍රබෝදිනි ලකුණු 21ට කඩුලු 3 ක් හා කවීශා දිල්හාරී ලකුණු 15ට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 3 තුළ නියමිත ඉලක්කය පසුකළේ, කඩුලු 4 ක් පමණක් දැවී තිබියදී යි.

හර්ශිතා සමරවික්‍රම ලකුණු 23 ක් හා නිලක්ෂිකා සිල්වා ලකුණු 18ක් හිමිකර ගත්තාය.

පකිස්ථානය හෙට(25) බංග්ලාදේශය සමගින් ලෝකඩ පදක්කම වෙනුවෙන් තරග වදිනු ඇති.