විදුලිය ගාස්තු අඩුකිරීම ලබන මාසයට පෙර...

විදුලිය ගාස්තු අඩුකිරීම ලබන මාසයට පෙර... මහජන උපයෝගීතා කොමිසමෙන් සැලසුම්...

by Staff writer 13-02-2024 | 6:48 AM

COLOMBO (News 1st) - ලබන මාර්තු මාසයට පෙර විදුලිය ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. 

එහි සභාපති මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඊට අදාළ වාචික අදහස් ලබා ගැනීම් අනිද්දා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදුකරන බවයි.
 
ඒ සඳහා ලියාපදිංචි වීමේ කාලය ඊයේ අවසන් විය. 

මහජන අදහස් විමසීමෙන් අනතුරුව, කොමිසම රැස්වී ගාස්තු අඩු කිරීමට කඩිනමින් පියවර ගන්නා බව සභාපතිවරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, එම කටයුතු මාර්තු මාසයට ආරම්භයට පෙර අවසන් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවයි.

2023 වර්ෂයේ ලංකා විදුලි බල මණ්ඩලය උපයා ගත් ලාභය සහ 2023 වර්ෂය අවසන් වන විට පැවති යහපත් ජල විදුලිය ධාරිතාව සැලකිල්ලට ගනිමින් විදුලි ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපක් කරන ලෙස පසුගියදා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලා තිබුණි.

ජනවාරී 16 වැනිදා 3.34% විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාවක් විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යොමු කරන්නේ ඒ අනුවයි. 

එම යෝජනාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් විධිමත් නිරීක්ෂණයක් සිදු කළ මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසුගිය ජනවාරි 23 වැනිදා ඊට අදාළ ලේඛනයක් ඉදිරිපත් කර තිබුණි.

කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව 2024 වර්ෂය සඳහා මෙගාවොට් සීයක විදුලිය මිලදී ගැනීමක් යෝජනාවට ඇතුළත් කර ඇති බවත්, ජනන බලපත්‍ර නොමැති විදුලි බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට ලංවිම යෝජනා කර ඇති බවත් එහි සඳහන් ය.