අධිවේගයේ කොටසක් කඩා වැටීම විමර්ශනයට කමිටුවක්..

මධ්‍යම අධිවේගයේ කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම ගැන විමර්ශනයට විශේෂඥ කමිටුවක් පත් කිරීමේ යෝජනාවක්..

by Staff writer 11-05-2024 | 8:21 AM

COLOMBO (News 1st) -  කඩවත - මීරිගම අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනාවී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 

එම අධිකාරිය පැවසුවේ විශේෂඥයින් තුන් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට යෝජනාවී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සිදුකල විමර්ශනයේ මූලික වාර්තාව මේ වන විට ලැබී ඇතැයිද මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.

පසුගිය 4 වැනිදා පස්වරු 5.45 ට පමණ මෙම කොන්ට්‍රීට් බාල්කය කඩා වැටී තිබුණේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ බෙම්මුල්ල, කදඔළුවාව ප්‍රදේශයේදී ය.

කඩා වැටුණු කොන්ට්‍රීට් බාල්කය මීටර් 35 ක පමණ දිගකින් යුක්තයි.

මාර්ගයේ තවත් බාල්ක දෙකක් අවදානම් තත්ත්වයේ පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.