සා/පෙළ ප්‍රතිඵලවලට පෙර උ/පෙළ පන්ති අරඹන්න අනුමැතිය

සා/පෙළ ප්‍රතිඵලවලට පෙර උ/පෙළ පන්ති අරඹන්න කැබිනට් අනුමැතිය...

by Staff writer 14-05-2024 | 5:48 AM

COLOMBO (News 1st) - සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමට පෙර උසස් පෙළ පන්ති ආරම්භයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ, අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරපත් කළ යෝජනාවකට අනුවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, මේ වනවිට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා නව උසස් පෙළ පන්ති ආරම්භය ලබන මස 05 වැනි දා සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

නව වැඩපිළිවෙළට පළාත් ආණ්ඩුකාරවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන්ගේ එකඟත්වය ද මීට පෙර ලැබී තිබුණි.

ඒ අනුව, සාමාන්‍ය පෙළ දක්වා පමණක් පන්ති පැවැත්වෙන පාසල්වල සිසුන් ආසන්නතම පාසල් වෙත උසස් පෙළ වෙනුවෙන් යොමු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

අමාත්‍යාංශය සඳහන් කළේ, උසස් පෙළ පන්ති පැවැත්වෙන නමුත් යම් විෂය ධාරාවක් එම පාසලේ ඉගැන්වීම් සිදු නොවන්නේ නම්, අදාළ විෂය ධාරාව සහිත පාසලකට සිසුන් යොමු කිරීමට සැලසුම් කර ඇති බවයි.

පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව එය ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මීට පෙර පැවසීය.