ආසියානු කුසලාන T20 තරගාවලියේ ශූරතාවය ඇෆ්ගනිස්ථානයට

ආසියානු කුසලාන T20 තරගාවලියේ ශූරතාවය ඇෆ්ගනිස්ථානයට

by Staff writer 27-10-2024 | 11:25 PM

COLOMBO (News1st) - ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ ය.

ඒ, ඕමානයේ අල් අමෙරාට්හිදී ශ්‍රී ලංකා A කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගය කඩුලු 7කින් ජය ගනිමින් ය.

ශ්‍රී ලංකාව තරගාවලිය තුළ අනුශූරතාවය දිනූ තුන්වැනි අවස්ථාව මෙයයි.

හයවැනි වරට පැවති නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා A සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් සුදුසුකම් ලබා ගත්තේය.

කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා A කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස යශෝධ ලංකා එක් ලකුණකට පිටියෙන් ඉවත් විය.

නායක නුවනිදු ප්‍රනාන්දුට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 4ක් පමණයි.

ළහිරු උදාර ලකුණු 5කට දැවී ගියේ ය.

අහන් වික්‍රමසිංහ ලකුණු 4කට දැවී ගියේ අල්ලා ගසන්ෆර්ගේ දෙවැනි කඩුල්ල ලෙසයි.

ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 4 ලකුණු 15කදී බිද වැටුණි.

කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් එක් කළේ සහන් ආරච්චිගේ සමග එක්වූ පවන් රත්නායකයි.

ඔවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 50කි.

පවන් රත්නායක ලකුණු 20කි.

නිමේෂ් විමුක්ති ලකුණු 23ක් රැස් කළේ ය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 64ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී බිලාල් සාමි කඩුලු 3ක් බිද දැමුවේය.

ශ්‍රී ලංකා A කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 133කි.

ඇෆ්ගනිස්ථාන පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලෙස සුබෙයිඩ් අක්බාරි ලකුණු නොලබා දැවී ගියේ ය.

ඒ, සහන් ආරච්චිගේ පන්දුවක් හමුවේ ය.

නායක ඩාර්විෂ් රසූලි සමග එක්වූ සදිකුල්ලා අතල් දෙවැනි කඩුල්ලට ලකුණු 43ක් එක් කළේ ය.

ඩාර්විෂ් ලකුණු 24කට දැවී ගියේ දුෂාන් හේමන්තගේ පන්දුවක් හමුවේ ය.