ඉරානයෙන් තවත් අනතුරු ඇඟවීමක්..

ඉරානයෙන් තවත් අනතුරු ඇඟවීමක්..

by Staff writer 02-10-2024 | 8:18 PM

COLOMBO (News1st) - ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී නොමැති බව එරට ශ්‍රී  ලංකා තානාපති කාර්යාලය පවසයි.

එහි තානාපති නිමල් බන්ඩාර මහතා පැවසුවේ එම සෑම ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධයෙන්ම තම නිලධාරීන් සොයා බැලූ බවයි.

ඊශ්‍රායලයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයින්  11,000 කට අධික පිරිසක් සිටින බවත්, ඔවුන් ආරක්ෂිත බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඊශ්‍රායලයේ සියලු කටයුතු අද (02) සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

මෙරට වේලාවෙන් ඊයේ (01) රාත්‍රී 10 ට පමණ ඉරානය ඊශ්‍රායලය ඉලක්කර  මිසයිල ප්‍රහාර 200 කට ආසන්න සංඛ්‍යාවක් එල්ල කළේ ය.

ඉරාන ප්‍රහාර එල්ල වීමට සුළු වේලාවකට පෙර ඊශ්‍රායලය පුරා අනතුරු ඇඟවීමේ සයිරන් නාද කෙරුණි.

ඊශ්‍රායලය සඳහන් කළේ, ඉරානය එල්ල කළ ප්‍රහාර රැසක්  ඊශ්‍රායල අයන් ඩෝම් පද්ධතිය ව්‍යර්ථ කළ  බවයි.

නමුත් අයන් ඩෝම් පද්ධතියෙන් වැළැක්වූ මිසයිලවල සුන්බුන් හේතුවෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලැබූ අතර පලස්තීනයේ බටහිර ඉවුරේ පුද්ගලයෙකු මියගොස් ඇතැයි ඊශ්‍රායලය පවසයි.

ඊශ්‍රායලය ලෙබනනයේ බේරූට්හිදී සැප්තැම්බර් 27 වැනිදා හිස්බුල්ලා ප්‍රධානී හසන් නස්රල්ලා සහ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරී අබ්බාස් නිල්ෆොරෝෂන් ඝාතනය කළේ ය.

පසුගිය ජුලි මාසයේ ටෙහෙරානයේ දී හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය කෙරුණේ ද, ඊශ්‍රායල ප්‍රහාරයකින් ය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ප්‍රකාශ කළේ, ඊට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බවයි.

ඊයේ ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පුද්ගලිකව නියෝගය ලබා දී ඇති බව සඳහන් වේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහූ අවධාරණය කළේ, ඉරානය විශාල වරදක් සිදුකළ බවයි.

ඊට වන්දි ගෙවීමට සූදානම් වන ලෙසත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අනතුරු අඟවා තිබේ.

කෙසේ වෙතත්, ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කර පැය කිහිපයක් ගත වන්නට මත්තෙන් ඊශ්‍රායලය යළි ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.

එම ප්‍රහාර හමුවේ මියගොස් ඇති ලෙබනන වැසියන් සංඛ්‍යාව දහසකට අධිකයි.

ඊශ්‍රායල හමුදාව ඊයේ(01) ලෙබනනයේ ගොඩබිම් ප්‍රහාරයක් ද ආරම්භ කළේ ය.

සිය ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ හමුදා ඉලක්ක සහ ඉදිකිරීම් රැසක් විනාශ වී ඇතැයි ඉරානය පවසයි.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) අවධාරණය කළේ, මෙම ප්‍රහාරයන්ට එරෙහිව ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කලහොත් තත්ත්වය වඩා අයහපත් සහ විනාශකාරී විය හැකි බවයි.

ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම සඳහා බැලැස්ටික් සහ හයිපර් සොනික් වර්ගයේ මිසයිල භාවිත කළ බව ද ඉරානය පවසයි.

ඉරානය හයිපර් සොනික් වර්ගයේ මිසයිල භාවිත කළ පළමු අවස්ථාව මෙයයි.

මිසයිල ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ, ඉරාන ප්‍රහාරය "පරාජිත සහ අකාර්යක්ෂම" එකක් බවයි.

"ඊශ්‍රායලයේ ආරක්‍ෂාවට ආධාර" කරන ලෙසත්, ඉරාන මිසයිල බිම හෙලන ලෙසත් ඔහු කලාපයේ සිය හමුදාවන්ට නියෝග කර තිබේ.

ඒ අනුව, අමෙරිකානු හමුදාවට අයත් ඩිස්ට්‍රොයර් යුද නෞකා මගින්,ඊශ්‍රායලය දෙසට ගමන් කළ ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රතිග්‍රාහක මිසයිල 12 ක් එල්ල කර තිබේ.

බ්‍රිතාන්‍ය ද පවසා ඇත්තේ, ඊශ්‍රායලය සමග සිටින බවත් ඔවුන්ට "ස්වයං ආරක්‍ෂාවට ඇති අයිතිය" පිළිගන්නා බවත් ය.

ප්‍රංශය සහ ජපානය ද ඉරාන ප්‍රහාරය හෙළා දකිමින් තවදුරටත් ගැටුම් උත්සන්න වීම වළක්වා ගන්නා ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කළේ ය.

ජෝර්දානයේ අම්මාන් අගනුවරට ඉහලින් පියාසර කළ මිසයිල ගණනාවක් ද ජෝර්දානය බිම හෙලා ඇත.

මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රහාර හෙලා දකින බව ප්‍රකාශ  කළේ ය.