ශිෂ්‍යත්ව විභාගය ගැන අවසන් තීරණය

by Staff writer 01-01-2025 | 7:30 PM

COLOMBO (News 1st) - ආන්දෝලනයට තුඩුදුන් ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවී ඇතැයි කියන, ප්‍රශ්න 03ට සියලු අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ලබා දීමට තීරණය කර තිබේ.

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ  ප්‍රශ්න 03ක් විභාගයට පෙර පිට වී ඇති බව පවසමින් විභාග වූ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) ප්‍රකාශයට පත් කළේ ය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේ, ආන්දෝලනයකට තුඩු දුන්, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනකට නිදහස් ලකුණු දීම,  ප්‍රශ්න තුන කප්පාදු කිරීම සහ සම්පූර්ණ විභාගය යළි පැවැත්වීම යන නිර්දේශ 3 අතරින් සුදුසුම නිර්දේශය තෝරාගෙන එය වහාම ක්‍රියාත්මක කරන ලෙසයි.

මෙම එක් එක් නිර්දේශ ක්‍රියාත්මක කිරීම මගින් ඇතිවිය හැකි හිතකර මෙන්ම අහිතකර බලපෑම් සම්බන්ධයෙන් වඩාත් ගැඹුරින් අධ්‍යයනය කර , ලබා දිය හැකි වඩාත් සාධාරණ හා සුදුසුම විසඳුම  අදාළ ප්‍රශ්න තුන සඳහා සියලුම විභාග අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීම බව විභාග දෙපාර්තමේන්තුව අද (01) පස්වරුවේ නිවේදනය කළේ ය.

ඒ අනුව ඇගයීම් කටයුතු අවසන් කර කඩිනමින් විභාග ප්‍රතිපල නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.