ජනපති අරමුදලේ සියලු සේවා අද සිට Online මගින්..

ජනපති අරමුදලේ සියලු සේවා අද සිට Online මගින්..

by Staff writer 21-06-2025 | 7:27 AM

COLOMBO (News 1st) -ජනාධිපති අරමුදලේ සියලු සේවා අද සිට Online ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක වෙයි.

ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබා දීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම පසුගිය පෙබරවාරි 7 වන දා සිට ආරම්භ විය.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ,  එම වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ අනෙකුත් සේවාද ඒ අයුරින් විමධ්‍යගත කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

ඒ අනූව දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා ‍දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන සහන දීමනාව, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ පුද්ගලයන් ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබා දෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන්හි සේවා සඳහා මහජනතාවට දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් Online ක්‍රමයට අයදුම් කිරීමේ හැකියාව ලැබෙනු ඇති.

මෙම වැඩසටහනත් සමඟ කොළඹට සීමා වී පැවති ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක සිට අයැදුම් කිරීමට එහි ප්‍රතිලාභ අවැසි ජනතාවට අවස්ථාව උදාවෙයි.