ද.අප්‍රිකාවේ හිටපු ජනපති ම්බෙකි අද දිවයිනට...

කැපිටල් මහරාජා සමූහයේ වාර්ෂික සමුළුව: ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවන දකුණු අප්‍රිකාවේ දෙවන ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති තාබෝ ම්බෙකි අද දිවයිනට...

by Staff writer 26-06-2025 | 7:59 AM

COLOMBO (News1st) - දකුණු අප්‍රිකාවේ දෙවන ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයා මෙන්ම අප්‍රිකානු කලාපයේ කෘතහස්ථ දේශපාලන නායකයෙකු වන තාබෝ ම්බෙකි මහතා අද (26) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඒ, මෙවර සීමාසහිත කැපිටල් මහරාජා සමූහයේ වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීම වෙනුවෙනි.

මෙවර වාර්ෂික සමුළුව පැවැත්වෙන්නේ හෙට(27) දිනයේදීය.

දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා දින කිහිපයක් මෙරට රැඳී සිටින අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට ද නියමිතයි.

කොළඹදී තරුණ ව්‍යවසායකයින් හා ව්‍යාපාරික නායකයින් ද හමුවීමට නියමිතව ඇති අතර සති අන්තයේ ගම්මැද්ද වැඩසටහන සමග ද ඔහු සම්බන්ධ වීමට නියමිතව තිබේ.

වර්ගභේදවාදයෙන් මුදවා දකුණු අප්‍රිකාව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට රැගෙන ආ එරට පළමු ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලා මහතාගේ සමීපතම දේශපාලන සඟයා වූයේ තාබෝ ම්බෙකි මහතායි.

මැන්ඩෙලා ජනාධිපතිවරයාගේ අගමැතිවරයා වූයේ තාබෝ ම්බෙකී මහතායි.

මැන්ඩෙලා පාලනය අවසන් වීමත් සමග 1999 වසරේ දකුණු අප්‍රිකාවේ දෙවන ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයා ලෙස පත්වූ තාබෝ ම්බෙකි මහතා 2008 වසරේ සැප්තැම්බර් දක්වා එම ධුරයේ කටයුතු කළේය.

අප්‍රිකානු කලාපයේ කාර්මික දියුණුව කරා ශීඝ්‍රයෙන් ළඟා වූ රාජ්‍ය නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ පුරෝගාමියා වූයේද ම්බෙකී මහතායි.


කවුද මේ දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති තාබෝ ම්බෙකි දිගු දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන චරිතයක් වන තාබෝ ම්බෙකි මහතා අප්‍රිකානු අර්ථයෙන් ගත් කල ඉතා වැදගත් නායකයෙක්.

ම්බෙකි මහතා, මැන්ඩෙලා ජනාධිපතිවරයාගේ රජයේ අග්‍රාමාත්‍ය ධුරයද හොබවමින් සිය ජනතා මෙහෙවර අඛණ්ඩව ක්‍රියාත්මක කළා.

1994 මැයි මාසයේදී නෙල්සන් මැන්ඩෙලා මහතා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරය හෙබවූවද නිල නොලත් ජනාධිපතිවරයා වූයේ තාබෝ ම්බෙකි මහතා බව බොහෝ දෙනා දන්නා කරුණක්.

පශ්චාත් වර්ණභේදවාදී දකුණු අප්‍රිකානු නායක මැන්ඩෙලාගේ අනුප්‍රාප්තිකයා වූ ඔහු 1999 ජුනි මාසයේ සිට 2008 සැප්තැම්බර් මාසය දක්වා අප්‍රිකාවේ ජනාධිපති ධුරය හෙබවූවා.

පක්ෂය විසින් එක් වරම ඔහු බලයෙන් පහ කරනු ලැබුවේ 2008 වසරේදීයි.

අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ප්‍රමුඛයෙකු වූ තාබෝ ම්බෙකි මහතා හැටේ දශකයේ වර්ණභේදවාදයට එරෙහි අරගලයේදී කැපී පෙනෙන භූමිකාවකට පණ පෙවූ නායකයෙක්.

80 දශකයේ අගභ‍ාගයේදී අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සභාපති ඔලිවර් ටැම්බෝ ගේ මග පෙන්වීම යටතේ ම්බෙකි මහතා වර්ණ භේදවාදය තුරන් කිරීම සඳහා විවිධ පාර්ශ්ව සමග පැවැති රහසිගත සාකච්ඡා වලට නායකත්වය දී තිබෙනවා.

වර්ණභේදවාදය පිටු දැක දේශපාලන විසඳුමක් ඇති කර ගැනීම සඳහා 1990 සිට 1994 දක්වා කාලයේ සිදු වූ සාකච්ඡා වලදී ඔහු වටිනා කාර්යභාරයක් ඉටු කළ බව සඳහන්.

ම්බෙකි මහතා එසේ කැප වී ක්‍රියා කළේ, ලොව වඩාත්ම සම්භාවනාවට පාත්‍රවන ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් හා පශ්චාත් වර්ණ⁣භේදවා දී රාජ්‍යයක් ස්ථාපනය කිරීමේ අරමුණ උදෙසායි.

මුලදී මහා අප්‍රිකාවක අවශ්‍යතාව දුටු තාබෝ ම්බෙකි මහතා පසුව අධ්‍යාපනය හා සෙසු ක්⁣ෂේත්‍ර ඔස්සේ දිදුලන අප්‍රිකාවක දැක්ම ප්‍රකට කළා. 

ඔහු 1971 සිට දශක දෙකකට ආසන්න කාලයක් මව්බිමෙන් පිටුවහල්ව ස්වාසිලන්තය, බොට්ස්වානා, නයිජීරියාව සහ සැම්බියාව යන රටවල ජීවත් වුණා. 

නයිජීරියාවේ ගත කළ කාලයේදී එහි පිහිටා තිබූ අප්‍රිකානු ජාතික කොංග්‍රස් කාර්යාලයේ ප්‍රධානත්වය ඉසිලුවේ ම්බෙකි මහතායි.

ඒ, 1976 දෙසැම්බර් මාසයේ සිට 1978 මුල් භාගය දක්වායි. 

එම වකවානුවේ දී අප්‍රිකාවේ විශාලතම රාජ්‍යය වන නයිජීරියාවේ කළු ජනයාගේ ස්වයං අභිමානය හා සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ ආභාසය ලැබු තාබෝ ම්බෙකි මහතා එවක නයිජීරියාවේ හමුදා ප්‍රධානියා වූ ඔලුසෙගුන් ඔබසන්ජෝ සමගද සමීප සබඳතා පැවැත්වූවා.

එම සබඳතාව පසු කාලයේදී අප්‍රිකාවේ සාමය ගොඩනැගීමටත් අප්‍රිකානු සමගි සංවිධාන බිහි කිරීමට බෙහෙවින් ඉවහල් වුණා.

තමා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ බලාධිකාරය තාබෝ ම්බෙකි මහතාගේ තීන්දු තීරණ වල නිතැතින් දක්නට ලැබුණු අතර ඔහු ප්‍රකටව සිටියේ සැම විටම ව්‍යවස්ථාවට ගරු කරන්නෙකු ලෙසයි.

සිය ජීවිත කාලයේ වසර පනස් දෙකක්ම අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සහ අප්‍රිකාවේ දේශපාලනය වෙනුවෙන් කැප කළ තාබෝ ම්බෙකි මහතා, ලෝක දේශපාලනයේ අදටත් ජීවමානව සිටින යුග පුරුෂයෙක්.