කහවත්තේ තරුණයා ඝාතනය කිරීමට 04ක් අත්අඩංගුවට..

කහවත්තේදී වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ 04ක් අත්අඩංගුවට..

by Staff writer 16-07-2025 | 11:18 AM

COLOMBO (News 1st) - කහවත්ත ඇන්දාන, කොස්කෑල්ල ප්‍රදේශයේදී වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, තරුණයා ඝාතනය කිරිමට යොදා ගත් ජිප් රථයක්,මෝටර් රථයක් සහ යතුරුපැදි 03 ක්ද සොයා ගත් බවයි.

කොළඹ උතුර අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සදහන් කලේ තරුණයා ඝාතනය කිරීමට සැකකරුවන් පැමිණි ජිප් රථයේ වර්ණ වෙනස් කර ඇති බවයි

සැකකරුවන් විසින් එම මෝටර් රථයට සහ අනෙක් යතුරුපැදිවලට ව්‍යාජ අංක තහඩු භාවිත කර  තිබේ.

එම වාහන සොයා ගෙන ඇත්තේ හෝමාගම නිවසක නතර කර තිබියදී ය.

අත්අඩංගුවට ගත්  එක් සැකකරුවෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 197 ක් සහ අයිස් ග්‍රෑම් 100 ක් සොයා ගෙන තිබේ.

ඩුබායි සිට ඝාතනය මෙහෙයවා ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

ඇන්දාන , කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට පැමිණි සන්නද්ධ පිරිසක් පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් එහි සිටි නිවුන් සොහොයුරන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මිතුරෙකු මාංචු දමා පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය 30 වැනිදායි.

ජීප් රථයකින් පැහැරගෙන ගිය මේ තුන්දෙනා කොස්කෑල්ල ප්‍රදේශයේ පාළු ස්ථානයකට ගෙන ගොස් වෙඩි තබා තිබුණි.

එහිදී 22 හැවිරිදි ඉරන්ත සුරන්ජන නැමැති තරුණයා  ඝාතනයවූ අතර ඔහුගේ මිතුරා ද  තුවාල ලැබූවේ ය.

නිවුන් සොහොයුරන්ගෙන් වැඩිමහල් තරුණයා ජීවිතය බේරාගෙන තිබුණේ පැහැරගත් පිරිසෙන් මිදී පලායාමෙන් ය.