සකර්බර්ග් ලොස් ඇන්ජලීස් අධිකරණයේ සාක්ෂි කූඩුවට

සමාජ මාධ්‍ය භාවිතයේ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් මාක් සකර්බර්ග් ලොස් ඇන්ජලීස් අධිකරණයේ සාක්ෂි කූඩුවට..

by Staff writer 19-02-2026 | 10:49 AM

COLOMBO(News1st)- සමාජ මාධ්‍ය භාවිතයේ ප්‍රතිවිපාක පිළිබඳ නඩු විභාගයකට අදාළව Facebook නිර්මාතෘ මාක් සකර්බර්ග් ඊයේ(18) ලොස් ඇන්ජලීස් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා.

ඒ Meta සමාගම දැන දැනම, දරුවන් ඇබ්බැහි කරගන්නා සුළු, හානිකර නිෂ්පාදනයක් වෙළ‍ෙඳපොළට නිකුත් කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවකට අදාළවයි. 

ළමා වියේදී තමන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම නිසා දැඩි මානසික හානියකට ගොදුරු වූ බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා ඇත්තේ 20 හැවිරිදි අමෙරිකානු තරුණියකි. 
ලොස් ඇන්ජලීස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඇයගේ නීතිඥවරුන් සඳහන් කළේ, 'Meta' සමාගමේ Facebook සහ Instagram යන සමාජ මාධ්‍ය ජාලා සහ Google සමාගමේ YouTube, හිතාමතාම දරුවන් ඊට ඇබ්බැහි කරගැනීමට කටයුතු කරන බවයි.  
 

ලෝක ඉතිහාසයේ ධනවත්ම සමාගම් දෙකක්, ඇතිවිය හැකි ප්‍රතිවිපාක ගැන දැන දැනම, දරුවන් ඇබ්බැහි කරගන්නා ආකාරයේ Apps නිර්මාණය කර ඇති බවටද නීතිඥවරුන් චෝදනා කළා. 
වයස අවුරුදු 13ට අඩු දරුවන් පවා Instagram ගිණුම් පවත්වාගෙන යාම පිළිබඳව ඊයේ (18) අධිකරණයේ ජූරි සභාව ඉදිරියේ නීතිඥවරුන්, මාක් සකර්බර්ග්ගෙන් ප්‍රශ්න කර තිබේ. 
කෙසේ වෙතත් ඔහු පවසන්නේ, වයස අවුරුදු 13ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතයට අවසර නොමැති වුවද, දරුවන් අසත්‍ය තොරතුරු භාවිත කොට ගිණුම් සකසාගෙන ඇති බවයි. 
එය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නීතිඥවරු දිගින් දිගටම මාක් සකර්බර්ග්ගෙන් ප්‍රශ්න කළහ. 

ඔහු එලෙස ජූරි සභාවක් ඉදිරියේ සමාජ මාධ්‍යවලින් සිදුවන අහිතකර බලපෑම පිළිබඳ නඩුවක සාක්ෂි ලබාදුන් පළමු අවස්ථාව මෙයයි.

ඉදිරියේදී Instagram ප්‍රධානී ඇඩම් මොසේරි සහ YouTube ප්‍රධාන විධායක නිලධාරී නීල් මෝහන් ඇතුළු ප්‍රධානීන් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදීමටත් නියමිතව තිබේ. 
 

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස TikTok සහ SnapChat යන සමාජ මාධ්‍ය ජාලා නම් කර තිබුණද, ඔවුන් පැමිණිලි පාර්ශවය සමඟ එකඟතාවයකට පැමිණ ඇතැයි තොරතුරු වාර්තා වේ.
 

මේ වසරේ අමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවක නීතිපතිවරුන් 40 දෙනෙකු පමණ, දරුවන්ගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවලට එරෙහිව නඩු පැවරීමට සූදානම් වන බවත් විදෙස් වාර්තාවල සඳහන්  වේ.