.webp)

ස්වර්ගස්ථ වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 92කි.
ගරු ඇලෝයිසියස් පීරිස් පියතුමන් දෙස් විදෙස් සුපතල දේවධර්මාචාර්ය, පාලි අභිධර්මය සහ බෞද්ධ අධ්‍යනය පිළිබඳ විශාරද පියතුමකු වේ.
කැලණිය, ගෝනවල පිහිටි තුලන පර්යේෂණ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වූ උන්වහන්සේ, සරල ජීවිතයක් ගත කළ, අන්තර් ආගමික සහජීවනය වර්ධනය සදහා අනූපමේය සේවයක් සිදුකළ පියතුමෙකි.
උන්වහන්සේගේ දේහය අද(22) පස්වරු 4.00 සිට හෙට(23) උදෑසන 10.00 දක්වා කැලණිය, දළුගම, ලුම්බිණි මාවතේ පිහිටි ශ්‍රවණූන ළමුන්ගේ ශික්ෂණ මධ්‍යස්ථානයේ තැන්පත් කර තැබේ.
අනතුරුව දේහය හෙට(23) උදෑසන 11.00 සිට 24 වැනිදා උදෑසන 10.30 දක්වා කැලණිය, පොල්හේන පාරේ අංක 715 දහම් සිහිල දෙව්සත්හලේ තැන්පත් කිරීමට නියමිතය.
එදිනම උදෑසන 10.30 ට පවත්වනු ලබන අවසන් දිව්‍ය පූජාවෙන් පසු දේහය, කැලණිය, ගෝනවල පිහිටි තුලන පර්යේෂණ මධ්‍යස්ථාන වෙත රැගෙන එනු ඇති.
එදින පස්වරු 3.00ට උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එම මධ්‍යස්ථානයේදී සිදුකිරීමට නියමිතයි.
1953 දෙසැම්බර් මස 23 වැනි දින ජේසු නිකායට ඇතුළු වූ ගරු ඇලෝයිසියස් පීරිස් පියතුමන් 1965 ජූලි මස 04 වැනි දින පූජක පුතෙකු ලෙස සිය එඬේරික කාර්යය ආරම්භ කරනු ලබනවා. ජේසු නිකායික පියවරුන් විසින් කරනු ලබන අම්පිටිය සාන්ත මරියා විදුහලෙත්, ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහලෙත් මූලික අධයාපනය හදාරා තිබෙනවා.
ලන්ඩන්, කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඞ් වැනි සරසවි ගණනාවක කථිකාචාර්යවරයෙකු ලෙස ද, සුදුතුම් පියාණන් යටතේ පාලනය වන සරසවිවල මෙන්ම රෙපරමාදු සභාවන්ට අයත් සරසවිවලද දේවධර්ම පීඨයන් හෙබ වූ මහාචාර්යවරයෙකු ලෙස ද, භාෂා නවයකින් පළවුණු ශාස්ත‍්‍රීය ලිපි හා ග‍්‍රන්ථ සංඛ්‍යාවක කතුවරයෙකු ලෙස ද, පෙර අපරදිග තෘතීය අධ්‍යාපන සේවයේ නියුක්තව ජාත්‍යාන්තර කීර්තිය දිනාගත් විශිෂ්ට පඬිවරයෙක් ලෙස ගරු ඇලෝයිසියස් පීරිස් පියතුමන් හැඳින්විය හැකියි.
ආසියාතික දෙව් දහම පිළිබඳව පර්යේෂණ රැසක් කරමින් එය ලෝකයාට හදුන්වා දෙමින් දේශීය ජන වන්දනාවේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කරනු ලබන ගරු ඇලෝයි පියතුමා දේශීයකරණය යනු හුදු සංස්කෘතිය පමණක් නොව ඉන් ඔබ්බට ගිය එ් සඳහා සංස්කෘතිය හා බැඳුණු තවත් බොහෝ කාරණා ඇති බව ප‍්‍රායෝගිකව ඔප්පු කර පෙන් වූ පර්යේෂකයෙකි.
එසේම අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත‍්‍රීය මහ නාහිමියන්, මහාචාර්ය වල්පොල රාහුල හිමියන්, මහාචාර්ය කොටහේනේ පඤ්ඤාකිත්ති, මහාචාර්ය කාකපල්ලියේ අනුරුද්ධ ආදී වියත් හිමිවරුන් රැසක් ඉතා සමීපව ඇසුරු කරමින් දැනුම පරිශීලනය හා බුද්ධිය පුළුල් කර ගනිමින් අන්තර් ආගමික සංහිදියාව සම්බන්ධව හැදෑරීය. ලංකාවේ සහ ආසියාවේ විවිධ පන්සල් තුළ උපාසකයෙකු ලෙසත් ඉන්දියාවේ හින්දු දහම ආශ‍්‍රිත ස්ථානවල හින්දු අනුගාමිකයෙකු ලෙසත් පෙනි සිටීමින් ප‍්‍රායෝගිකව සිය පර්යේෂණ කටයුතු සිදු කල මෙතුමා ආසියාවේ විවිධ ආගම් සමග කිතු දහම සංවාදයකට යා යුතු බවට අදහස් පළ කළ අතර, 70 දශකයේ සිටම එ් වෙනුවෙන් පර්යේෂක කරමින් වෙහෙස මහන්සි විය. ගරු ඇලෝයිසියස් පීරිස් පියතුමන් විසින් මේ සම්බන්ධයෙන් ලියා පළ කරනු ලැබූ පර්යේණ ග‍්‍රන්ථ ද රාශියකි. මේ සියල්ල හුදු න්‍යායාත්මකව ලියූ කරුණු නොව ප‍්‍රායෝගිකව වෙහෙස මහන්සිව ලබා ගත් අත්දැකීම් හා දැනුම න්‍යායක් බවට පත් කරමින් කරනු ලැබූවකි. එලෙසම කැලණිය ‘තුලන’ පර්යේෂණ ආයතනය තුළින් විද්‍යාර්ථයින් රැසකට සිය පර්යේෂණ සදහා මග පෙන්වීම ලබාදීම සුවිශේෂ වේ. භාෂා 13 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නිපුනයෙකු වන මෙතුමා අතින් විවිධ පර්යේෂණ ග‍්‍රන්ථ හා ලිපි ලේඛණ රැසක් ලියැවී තිබේ.
