ඉරානය මිලිටරිමය වශයෙන් අවසන්!" - ට්‍රම්ප්

"අපි මේ යුද්ධය ජයග්‍රහණය කළා, ඉරානය මිලිටරිමය වශයෙන් අවසන්!" - ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්

by Janitha Mendis 25-03-2026 | 6:16 AM

COLOMBO(News1st) - ලෝකයම මහත් නොසන්සුන්තාවයකින් බලා සිටි ඇමරිකා - ඉරාන යුද ගැටුම තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. 

ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, ඇමරිකානු හමුදා ප්‍රහාර හමුවේ ඉරානය මිලිටරිමය වශයෙන් සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බවයි.

"මිලිටරිමය වශයෙන් ඔවුන් දැන් මියගොස් අවසන්"
ඉරානය සමඟ පැවති යුදමය තත්ත්වය ඇමරිකාව ජයගෙන ඇති බවත්, ඉරාන හමුදාවන්ට නැවත හිස එසවීමට නොහැකි වන පරිදි දැඩි ප්‍රහාර එල්ල කර ඇති බවත් ට්‍රම්ප් මෙහිදී පැවසීය. විශේෂයෙන්ම ඉරානයේ ප්‍රධාන ආරක්ෂක ස්ථරයන් වන නාවික සහ ගුවන් හමුදා බලඇණි සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට ඇමරිකානු හමුදාව සමත් වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

"අපි මේ යුද්ධය ජයග්‍රහණය කළා. ඉරානය මිලිටරිමය වශයෙන් දැන් අවසන්. ඔවුන්ගේ නාවික සහ ගුවන් හමුදා බලය අපි සම්පූර්ණයෙන්ම විනාශ කළා," යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ මෙන්ම සමස්ත ලෝක දේශපාලනයේම උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඉරාන නාවික සහ ගුවන් බලය මෙලෙස විනාශ වීම ගෝලීය බලශක්ති සැපයුමට සහ ඉන්දීය සාගරයේ නාවික ගමනාගමනයට කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව දැන් ලෝක අවධානය යොමුව ඇත. විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල ඉහළ යෑම සහ මැදපෙරදිග කලාපීය ආරක්ෂාව පිළිබඳව විදෙස් විචාරකයින් විවිධ මත පළ කරමින් සිටී. කෙසේ වෙතත්, ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ මෙම පියවර හරහා කලාපීය ස්ථාවරත්වය සහ ඇමරිකානු ජාතික ආරක්ෂාව තහවුරු වී ඇති බවයි.

කෙසේ නමුත් ඉරාන පාර්ශවයෙන් මේ දක්වා මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.