.webp)
-612993.jpg)
COLOMBO(News1st) - ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන සැලකිල්ලට ගනිමින්, විදේශීය රටවල නිෂ්පාදනය කරන ලද සියලුම නව පාරිභෝගික අන්තර්ජාල රවුටර් (Consumer Internet Routers) ඇමරිකා එක්සත් ජනපදය තුළ භාවිතය තහනම් කිරීමට එරට ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව (FCC) පියවර ගෙන ඇත.
ඊයේ පස්වරුවේ නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම තහනම මූලික වශයෙන් ඇමරිකාවෙන් බැහැර රටවල නිෂ්පාදනය කරන ලද නව උපාංග මාදිලි සඳහා බලපැවැත්වේ. සයිබර් ප්‍රහාරකයන් විසින් කුඩා කාර්යාල සහ නිවෙස්වල භාවිත කරන රවුටර් පද්ධතිවල පවතින දුර්වලතා උපයෝගී කරගනිමින් දත්ත සොරාගැනීමේ සහ යටිතල පහසුකම්වලට හානි කිරීමේ අවදානමක් පවතින බවට හඳුනාගෙන තිබීම මෙයට හේතුව බව ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි.
මෙම තහනම බලපැවැත්වෙන්නේ අලුතින් වෙළඳපොළට හඳුන්වා දෙන රවුටර් මාදිලි සඳහා පමණි. දැනට පාරිභෝගිකයන් සන්තකයේ ඇති හෝ දැනටමත් අනුමැතිය ලබා විකිණීමට ඇති රවුටර් භාවිත කිරීමට මෙයින් බාධාවක් නොමැත.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි උපකරණ ඇතුළත් FCC හි 'තහනම් ලැයිස්තුවට' මෙම විදෙස් නිෂ්පාදිත රවුටර් අලුතින් ඇතුළත් කර ඇත.
TP-Link, Asus සහ Netgear වැනි ලොව ප්‍රමුඛ පෙළේ රවුටර් නිෂ්පාදකයින් බොහොමයක් සිය නිෂ්පාදන කටයුතු චීනය, තායිවානය හෝ වියට්නාමය වැනි රටවල සිදුකරන බැවින්, මෙම තීරණය ඇමරිකානු තාක්ෂණික වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විශේෂයෙන්ම 2024 වසරේදී එල්ල වූ 'Salt Typhoon' වැනි ප්‍රබල සයිබර් ප්‍රහාරයන් සඳහා විදෙස් නිෂ්පාදිත රවුටර්වල පවතින දුර්වලතා යොදාගෙන තිබීම, ආරක්ෂක අංශවල දැඩි අවධානයට ලක්ව ඇත.
