ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා....

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා....

by Staff writer 07-07-2026 | 9:47 PM

COLOMBO (News 1st) - දූෂණ විරෝධී පනත යටතේ චෝදනා එල්ල වූ, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අද (07) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේ ය.

මෙලෙස අධිචෝදනා භාර දුන්නේ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, කොළඹ හානි පූර්ණ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම යන තිදෙනාටයි.

නඩුව විභාග වන්නේ, 2023 වසරේ නොවැම්බර් 27 වැනිදා සිට 2024 වසරේ මැයි 29 වැනිදා දක්වා කාලය තුළ,  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත්, සෙවනගල පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකළ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල අරගල සමයේ විනාශ කළ බව කියමින් වන්දි ලබා ගැනීමේ සිදුවීමට අදාළවයි.

එම දේපළ වෙනුවෙන් රුපියල් අසූ අට ලක්ෂ පනස්දහසක  වන්දියක් ලබා ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ ගැනෙන වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම, පසුගිය ජුනි 19 වැනිදා විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළේ ය.

අද නඩුව කැඳවූයේ කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න හමුවේයි.

අධිචෝදනා භාර දීමෙන් අනතුරුව විත්තිකරුවන් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියේ ය.

පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අගෝස්තු 5 වැනිදා ආරම්භවීමට නියමිතයි.